Monday, July 3, 2017

දුප්පත්කම විසින් නිර්මාණය කළ සොල්දාදුවා සමාජ අසාධාරණය විසින් රණවිරුවෙකු ලෙස මිහිදන් කළේය......

     

 

මේ දවස්වල නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් ගැන ෆේස්බුක් එකේ විවිධ කතා බහක් ඇතිවෙලා තියෙනවා. පාර දිගේ වත ගොත සොයා යන සංචාරකයාගේ ඇස ගැටුන ෆේස්බුක් පෝස්ට් එකක් ගැන අද කතා කරනන් හිතුවා. මේ තමයි ඒ කියන පින්තූරය.
 




අසාධාරණ සමාජ ක්‍රමය විසින් නිර්මාණය කළ සොල්දාදුවා යුද්ධය ඉදිරියේ දී රණවිරුවෙක් විය. රට පිළිබඳ උනන්දුවකින් රණවිරුවා රැකියාවට බැදෙන්නේ නෑ. කෙනෙක් හමුදාවට බැදෙන්නේ දුප්පත්කම නැති කරගන්න හරි රැකියාවක් කරන්න හරි. ලෝකයේ ඕනම රටක හමුදාවට වැඩ වර්ජන කරන්න, උද්ඝෝෂණ කරන්න හමුදා  නීතිය යටතේ තහනම්. ඒ වගේම තමයි පවතින රජය යටතේ කරන අණකිරීම්, ප්‍රශ්න කිරීමකින් තොරව කළ යුතුය. ඒ නීතියට යටත්වෙලා තමයි ඔවුන් හමුදාවට බැදෙන්නේ. රටට, ජාතියට මුහුණ පෑමට සිදු වන ව්‍යසනයක් හෝ රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වුණාම රාජ්‍ය නායකයා දෙනු ලබන නියෝග පිළිපැදීම ඔවුන්ගේ යුතුකමක් නොව රැකියාවේ කොටසක්.
 

මෑතකදී සිදු වූ ගං වතුර හා නායයෑම් තර්ජන හමුවේ සොල්දාදුවන් මිනිස් ජීවිත දස දහස් ගණනින් බේර ගන්න කටයුතු කළා. ඇතැම් වෙලාවට  ඔවුන්ගේ ජීවිත පවා අහිමි වුණා. රැකියාවේ කොටසක් විදිහට එය රණවිරුවන්ට  පමණක් අදාළ කාරණයක් නොව ,රාජ්‍ය සේවයේ සියලු දෙනාට පැවරෙන එක හා සමාන රාජකාරියක්. නමුත්, සොල්දාදුවාගේ රාජකාරිය ඉස්මතු වෙලා සමාජයට පේනවා. සමාජයට පේන්නේ හෙලිකොප්ටරයකින් ලණුව දිගේ පහළට බැහැලා මිනිහෙක් බේර ගන්න සොල්දාදුවෙක් විතරයි. නමුත් ඒ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා බලපාන අතුරු කාරණා රාශියක් තියෙනවා. ඒ ඔවුන්ගේ රාජකාරිය. ආපදා තතත්වයක දී සුවිශාල රාජකාරියේ කොටසක් අනෙකුත් රාජ්‍ය නිළධාරීන්ට පැවරෙන අතර ඔවුන්ගේ එම රාජකාරී පථය පැතිරී තිබෙන්නේ සමාජයේ ප්‍රදර්ශනය කරන සීමාවන්ට එහායින්. එම නිසා ජාතික ව්‍යසනයක දී සොල්දාදුවා රණවිරුවෙකු ලෙසත් අනෙකුත් රාජ්‍ය නිළධාරීන් සාමාන්‍ය ලෙසත් කියවීමට අපේ ජන සමාජය හුරු වී තිබේ. සොල්දාදුවා කරනු ලබන සියලු රාජකාරීන් වෙනුවෙන් මහජන බදුවලින් වැටුපක් ගෙවනු ලබන අතර එය අනවශ්‍ය වීරත්වයකින් හුවා දැක්වීම අවශ්‍ය නොවේ.
 

රැකියාව හා සේවය වෙනස් වන්නේ වැටුප් ලැබීම හා නොලැබීම යන කාරණා දෙක මතය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සමාජය වෙනුවෙන් ඉටු කර ඇති වැඩ කොටස කුමක්ද යන්න ප්‍රශ්න කරන සමාජ ජාල විද්වතුන් මතක තබාගත යුතු කරුණ වන්නේ ඔහු රැකියාවක් නොව සේවයක් පමණක් සිදු කරන බවයි. අනෙකුත් සියලු කාරණා පසෙකලා අධ්‍යාපනය යනු පෞද්ගලීකරණය නොකළ යුත්තක් බව මාගේ අදහසයි. 1945 එවකට අධ්‍යාන ඇමතිව සිටි සී .ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය රාජ්‍ය මන්ත්‍රණ සභාවට හදුන්වා දෙමින් ප්‍රකාශ කළේ මෙතුවක් කල් පෝසතුන්ගේ ඒකාධිකාරියට යටත්ව පැවති අධ්‍යාපනය මෙතැන් සිට දුප්පතුන්ගේ ඒකාධිකාරිය යටතට පත් කරන බවයි. එසේ හදුන්වා දුන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවෙන් අන්තරේ කැදවුම්කරු පමණක් නොව සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ගනු ලබන සු`ඵ හෝ ක්‍රියාමාර්ගයක් වැටුප් ලබා ගන්න රැකියාවට වඩා ඉතා අගනා බව මාගේ හැගිමයි. එසේ තිබිය දී රැකියාවක් සහ ගරු සේවාවක් සන්සන්ධනය කිරීම නොකළ යුතුතක් බව මෙහිලා සටහන් කරමි.

No comments:

Post a Comment