Wednesday, November 9, 2016

නූතනයේ පටාචාරවන්ට..

 
















සළුපිළි උනා දමා
මග දෙපස දිව ගියා
කැට කැබිලිති
ගල් මුල්
සරදම් කලා
පෙර කළ පවක් දෝ මේ ...                     


                       සැප සේ දිවි ගෙවා
                        වසර දොළසක් ගෙවුණා
                        කඩවසම් තාරුණ්‍යයේ හී සැරය
                        හදවත පසාරු කළා
                        හිතට වහල් වී ඉක්මන් වුණාදෝ...


සිතිවිලි යා වුණා 
 දෙහදක් එක් වුණා
දෙමාපිය සෙනෙහස හැර දමා
ඔහුගේ පහසේ සෙනෙහෙ සෙව්වා
 

            දින සති ගෙවුණා 
            ආදරයේ අරුත දැනුණා
           මව් පදවිය ලද දා 

           මවගේ අගය දැනුණා
           සෙනෙහෙ බැම්මෙන් බැඳි තිබුණත්
           අවැසි වූවා මව් සෙනේ
           සසර කළ පව මතු වුණදෝ


                   
                       නාග වෙස් ගෙන
                        උකුසු වෙස් ගෙන
                        නිසල ජල කඳ
                        රකුසු වෙස් ගෙන
                        මගේ ජීවය වැණසුවාදෝ


‘පටාචාරාවනි උගත යුතුය ප්‍රේමයේ තීරණය හැගීම් මත නොගත යුතු වග’

චීවරය හා බැඳුණු අන්තර් සංස්කෘතිය


 චීවරය හා බැඳුණු  අන්තර් සංස්කෘතිය

 













ආර්ථික, සමාජීය, දේශපාලනික ගවේෂණ කටයුතු සඳහා සංස්කෘතියෙන් සංස්කෘතියට ඒවායේ වෙසෙන මිනිසුන් හුවමාරු වීම කරණ කොට ගෙන ඇති වූ සංංස්කෘතික අනවබෝධයන් හා සංඝටකයන් පරීක්ෂා කර බැලීමේ සහ ඒවා මඟ හරවා ගැනීමේ පියවරක් වශයෙන් විවිධ සංස්කෘතීන්ගේ සුවිශේෂිතා අධ්‍යයනයට ලක් කරමින් තිබේ. මුලින්ම මෙය මානව විද්‍යාවේ සහ සමාජ විද්‍යාවේ කාර්ය භාර්යක් වුවද මෑතකදී සිට සංස්කෘතීන් පිළිබඳ අධ්‍යයනය කිරීම සන්නිවේදන විෂය ක්ෂේත්‍රයන්ට එක් වී ඇත. සන්නිවේදන විෂය ක්ෂේත්‍රයේදී එය විවිධ සංස්කෘතීන් තුළනය  කිරීම යනුවෙන් එය හැඳිනගත යුතුය. මෙහිදී එම අන්තර් සංස්කෘතික ලක්ෂණ විමසීම සඳහා චීවරය යන නිර්ණායකය උපයෝගි කර ගනු ලබයි.

 බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා හඳුන්වා දුන් චීවරයට “අරහත් ධජය” , “කසා වත” කියා ද ව්‍යවහාර කරනු ලැබේ. චීවරයේ සමාරම්භක අවස්ථාව අපට හමුවන්නේ ඇසළ පොහෝ දිනක පැවිදි වූ සිදුහත් කුමරුට ඝටීකාර මහා බ්‍රහ්මයා කළ අටපිරිකර පූජාවත් සමඟය. සිදුහත් බෝසතාණෝ සව් කෙලෙසුන් නසා බුදු බව ලැබීමත් සමඟ භික්ෂු ශාසනය ආරම්භ විය. එම ආරම්භයත් සමඟ භික්ෂූන් වහන්සේලා සිවුරු පරිහරණය කිරීමඳ සිඳු විය. බුදු සසුනේ මුල් යුගය වනවිට පාංශුකූලය තුළින්ද සිවුරු  සකස් වූ බව පැහැදිලිය.
භික්ෂූන් වහන්සේ පළදින සිවුරු කට්ටලය ගත් කළ එය තුන් සිවුර වශයෙන් ,
අන්තරාවාසය ( අඳනය )
උත්තරාසසංග (තනිපට සිවුර )
සංගාටිය ( දෙපට සිවුර )
වශයෙන් බෙදා දැක්වීමට පුළුවන.

දෙපට සිවුර සාදා නිමකර ඇත්තේ සිවුරු දෙකක් නියමානුකූලව ගෙන එකක් වන සේ මැසීමෙනි. එය භික්ෂූන් පරිහරණය කරනු ලබන්නේ උතුරු සළුව වශයෙනි. තනිපට සිවුර ඒකාංශ කොට හෝ දෙවුර වැසෙන සේ පෙරවීම සඳහා යොදා ගනු ලබයි. අදනකඩය දෙදන වැසෙන සේ ඉන වටා පෙරවීම සඳහා යොදා ගනු ලබයි. ඒ අනුව මෙම තුන් සිවුර පිණ්ඩපාත චාරිකාවේ වඩින විට හා උපසම්පදා ,  පොහොය කිරීම් ආදි විනය කර්ම විනය කර්ම සිදු කරන අවස්ථාවන්හීදි තුන් සිවුරෙන් යුක්ත විය යුතු බවද පන්වා දී තිබෙයි. කාය බන්ධනං යනු අඳනකඩය ලිහිල් සේ ඉන වටා බැඳීමට ගන්නා වූ රෙදි කැබැල්ලකි. මෙයද සිවුරු පටියකින් නිමවා තිබෙයි. ඒ අනුව වර්තමාන භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා විවිධ පටි වර්ග දක්නට ලැබුණත් අටපිරිකර තුළ ඉන වටා බැදීමට ගන්නා පටිය තවමත් සිවුරු කැබැල්ලකින් සකස් වී ඇති ආකාරය අධ්‍යනයේදී තහවුරු විය.

සිවුරේ සැකැස්ම පිළිබ`ඳ අධ්‍යනයේදී එය ඉන්දීය සමාජයෙන් ආගමනය වූවක් බව පැහැදිලි විය. මුල් යුගයේ දී භික්ෂූන් වහනන්සේලා විසින් චීවර වශයෙන් භාවිත කර ඇත්තේ “කසාවත්ත” හෙවත් කසට පාට ඇති කඩ නොකැපූ සිවුරුය. පාංශුකූල චීවර පවා රෙදි කෑලි එක්කර මසාගත්  පොරෝණයක් වැනි සිවුරකි.

දිනක් බුදුන් වහන්සේ භික්ෂු පිරිසක් සමඟ රජගහ නුවර සිට දක්ඛීණාගිරියට චාරිකාවේ වඩින අතර මඟදී විශාල වෙල් යායක් දකින ලදි. එහි ලියදි දික් අතටත් හරස් අතටත් මනාව බෙදා මනාව සකස් කර තිබුණි. එය ලොකු නියරවල්වලින් සහ හරස් නියරවල්වලින් , හතරැස් නියැදි වෙන් කරන ලද විශාල කුඹුරු යායකි. පිළිවෙළකට සකස් කරන ලද කුඹුරු පෙන්වා බුදුරජාණන් වහන්සේ  “ආනන්දය, මේ හතරැස් කුඹුර මෙන් දිග හා පළල නියර ඇති අතරතුර බැඳි කුඩා හරස් නියරවල් යුක්ත මගධ ක්ෂේත්‍රය දුටුවෙහිද” යි ඇසූහ. “එසේය ස්වාමීනි, මගධ ක්ෂේත්‍රය දුටුවෙමි. “ආනන්දය, චීවරයත් එසේම කඩ කපා සකස් කරන්න උත්සාහවත් වන්නයි” වදාළහ.

ආනන්ද හිමියෝ එය පිළිගෙන වේළුවනාරාමයට පැමිණ මගධයේ දක්ශිණ ගිරියේ කුඹුරුවල ස්වරූපයට අනුරූප ලෙසට සිවුරක් සකස් කිරීමට තීරණය කළහ. උන්වහන්සේ රෙදි සොයා ගෙන කඩ කපා මසා පඬු ගසා සකස් කළ සිවුර බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූහ. එම චීවවරය පරීක්ෂා කළ  බුදුරජාණන් වහන්සේ , ආනන්ද පණ්ඩිතය. මහණෙනි, කඩ කැපූ දෙපට  සිවුරද කඩ කැපූ තනිපට සිවුරද කඩ කැපූ අඳනද අනුමත කරමි යි වදාළහ.
මෙසේ සිවුර සැකසීමේ අරමුණු කිහිපයක් දැක්විය හැකිය.
1.ඡන්නකං       -  කැබලිවලට කැපීම
2.සත්ථලුඛං      - ආයුධයෙන් කැපූ හෙයින් රළු වීම
3.සමණසාරුප්පං -පැවිද්දන්ට සුදුසු  වීම
4.පච්චත්ථික්‍යාංච අනභිජක්ධිතං -පස මිතුරන් විසින් නොපැතීම

මෙම කරුණු සතරින් ගම්‍යමාන වන්නේ සිවුරේ විවිධ කොටස් ඇතිව සකස් කරන ලද්දේ එහි ආරක්ෂාව සඳහා බවයි. කැබලිවලට වෙන් කිරීමෙන් එහි අගය හීන වෙයි. එමගින් සිවුර පරිහරණය කරන්නාට එහි ඇල්මක් ඇති නොවන අතර  අන් අයකුට එයින් ප්‍රයෝජනයක් ගත නොහැකි වේ.  සුවපහසු  වස්ත්‍ර හැඳීමෙන් භික්ෂු ජීවිතයට බාධා පැමිණේ. එහෙයින් එම වස්ත්‍රය සියලු දුක් නැති කිරීමෙන් නිවන සාක්ෂාත් කරන භික්ෂුවට ඉතාමත් යෝග්‍යය.

සිවුරු රෙදි හා සිවුරේ වර්ණය පිළිබඳ අධ්‍යයනය කරන්නට විය. ඛුද්දක නිකායේ සිවුරු රෙදි පිළිබඳව මෙසේ දක්වා තිබෙයි.
“අනුජානාමි භික්ඛවේ.ඛචීවරානි, ඛොමං තපපාසිතං කොසෙය්‍යං කමලං සාණං භංගං ති”
අ.කෝම     -    කෝම නම් ගස්වල පොතුවලින්  වියන ලද රෙදිවලින් සකස් කර ගත් සිවුරු
ආ.කෝස    -    කෝස නම් පණුවන්ගේ නූල්වලින් වියන ලද රෙදිවලින් සකස් කර ගත් සිවුරු
ඇ.කප්පාස  -    කපු  රෙදිවලින් රෙදිවලින් සකස් කර ගත් සිවුරු
ඈ.සාණ     -    හණ නූල්වලින් වියන ලද රෙදිවලින් රෙදිවලින් සකස් කර ගත් සිවුරු
ඉ.ලෝම     -    මිනිස් ලොම්, අස්ලොම්, නපුරු සතුන්ගේ ලොම් හැර වෙනත් ලොම්වලින් වියන  
                  ලද රෙදිවලින් සකස් කර ගත් සිවුරු
ඊ.කොමු     -    සපු, ලොම් ආදිය මිශ්‍ර කර වියන ලද රෙදිවලින් සකස් කර ගත් සිවුරු

තවද දුහුල් රෙදි, පත්තුණ්න දේශයේ රෙදි, සෝම දේශයේ රෙදි, චීන පටිපිළි ආදියෙන් මසන ලද සිවුරු ද භික්ෂූන් වහන්සේලාට භාවිතයට සුදුසු සිවුරු වර්ගයෝය.

සිවුරේ වර්ණය හඳුන්වන්නේ කසාය ,කසට ,කහට පාට වශයෙනි. එහෙත් සිවුරට නියමිත වර්ණයක් සම්මත නොවීම නිසා ඡබ්බග්ගිය භික්ෂූහු සම්පූර්ණ නිල් (සබ්බ නීල) , සියල්ල කහ (සබ්බ පීත), සියල්ල රතු (සබ්බ  ලෝහිත), සියල්ල සුදු (සබ්බ ඕදිත) ,සියල්ල මදටිය පාට (සියල්ල මඤ්ජිට්ඨ) සිවුරු භාවිතා කළහ. එය දැනගත් බුදුන් වහන්සේ තනි නිල් , කහ ,රතු , මදටිය , සුදු වර්ණ සිවුරු දැරීම තහනම් කළහ.
සිවුර පඬු පෙවීම

එකළ භික්ෂුන් වහන්සේලා තමාට ලැබුණු වස්ත්‍ර ගොම හා පඬු පෙවීමෙන් වහා දුර්වර්ණ වූයෙන් සිවුර සඳහා වර්ණයක් නියම කරන්නට සිදු විය. කැබලි එක් කර සකස් කර ගත් සිවුර එකම පැහැයක් ගැන්වීම සඳහා එකම වර්ණයෙන් පඬු පොවන ලදි. සිවුර පඬු පෙවීම සඳහා වර්ග හයක් භාග්‍යවතුන් වහන්සේ අනුමත කර ඇත්තාහ.
“අනුජානාමි භික්ඛවේ ඛ් රජානානි,...”
එනම්, මුල් පඬු , දඬු පඬු ,පොතු පඬු ,කොළ පඬු ,මල් පඬු, ගෙඩි පඬු ආදියයි. එහෙත් ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා විවිධ වර්ණයෙන් යුතු සිවුරු පරිභෝග කළ බැවින් පඬු පෙවීම සඳහා නොගත යුතු වර්ණ දැක්වේ. නිල් ,දම් ,කොළ, රෝස, කළු ,තද රතු ,තද කහ මෙම වර්ණයන් සිවුරු පඬු පෙවීමට භාවිතා නොකරයි. සිවුරේ පැහැය විය යුත්තේ පඬු පැහැයයි. එය විරාගි බවේ සංකේතයයි. සියල්ල අතහැර ශාසනයට ඇතුල් වන භික්ෂුව ලෞකික ජීවිතතයෙන් ඈත් වෙයි. වෙනත් ආගම්වලද ආගම් නායකයන් එසේ අවර්ණිත වර්ණයෙන් සිය වස්ත්‍ර සකස් කර තිබෙයි. ක්‍රිස්තියානි නායකවරුන් සුදු  පැහැති වස්ත්‍ර අඳිනු ලබයි. එය වාරාගී බවේ සංකේතයයි. අන්තර් සංස්කෘතික ලක්ෂණ මනාව පැහැදිලි වෙයි.

සිවුරු පඬු පෙවීමේ දී භාවිතයට ගන්නා උපකරණ භික්ෂූන් වහන්සේලා පරිහරණයට සුදුසු බව අනුමත කළහ. පඬු පිසින උදුන, පඬු සැලියක් , පඬු කිනිසස්ක්, පඬු හැන්දක් ,පඬු කළයක් , පඬු ඔරුවක් ආදිය වරින් වර අනුමත කළහ. මේ නිසා භික්ෂුන් වහන්සේලා මගධ දේශය මෙන් සැකසූ සිවුරු සකසා ගන්නා ලදි. සිවුරෙහි ආරම්භක අවස්ථාව එසේ සඳහන් කළ හැකිය.

සිවුරු පරිහරණය

භික්ෂූන් වහන්සේලා උදෙසා පිරිනමන සිවුපසයෙන් පළමු වැන්න වන්නේ ද සිවුරු පිළිගැන්වීමයි. “මම මේ සිවුරු පරිභෝජනය කරන්නේ සීතල වැලැකීමට හා උෂ්ණය වළක්වා ගැනීමටය. මැසි, මදුරු ආදීන්ගෙන් එල්ල වන පීඩාවන්ගෙන් වැළැකීමටය. විලි වසා ගනු පිණිසය.” යනුවෙන් චීවර පරිභෝජනයේදී සිහිපත් කළ යුතුය.

භික්ෂූන් වහන්සේ සිවුර හැඳීම හා පෙරවීම පිළිබඳ සේඛියා නමින් ශික්ෂා පද හතරක් පනවා ඇත.

1.පරිමණ්ඩලාකාරව සිවුරු අඳනය ඇඳිය යුතුය. තැන් තැන්වලින් උස් පහත්ව නොසිටිනා ලෙස එක මට්ටමකට අඳනය ඇඳීම, දණහිසෙන් අගල් අටක්වත් අඳනයෙන් වැසීම අවශ්‍ය වේ. (පරිමණ්ඩලං නිවාසෙස්සාමිති සික්ඛා කරණීය)

2.පොරවන සිවුරු පරිමණ්ඩලාකාරව පෙරවිය යුතුය. සිවුරේ  යටි පැත්තේ වාටිය සෑම තැනකින්ම ඒ කොන්වල මට්ටම සිටින පරිදි පෙරවිය යුතුය. (පරිමණ්ඩලං පාරුපිස්සාමේතී පරිමණ්ඩලං)

3.විහාරයෙන් පිටට යන විට දෙපට සිවුරෙන් කය වසා ගෙන යා යුතුය. මෙසේ මනා කොට සිවුර පෙරවීමට ශරීරයේ විවෘතව තිබෙන්නේ බෙල්ලෙන්, ඉහළ හිසත් වළලු කර පටන් දෑතත් කෙණ්ඩයෙන් පහළ නෑයකුත් පමණි.

4.මනා කොට සිවුරෙන් කය වසා ගෙන ගමෙහි හිඳිය යුතුය. (සුපටින්නෝ අන්තර ඝරේ  නිසිදිසසාමේති සික්ඛා කරණීය)

සිවුරු හැඳීම පෙරවීම පිළිබඳ කොතරම්දුරට සැලකිල්ලක් දක්වා තිබේද  යන්න පැහැදිලිය. මෙය වර්තමානය වනවිට විවිධ වූ ආකාරයෙන් එක් එක් නිකායික භික්ෂූහු විවිධ වෙනස්කම්වලට භාජනය කර ගනිමින් භාවිතා කිරීම දැකිය හැකිය.

එසේම අවස්ථානුකූලව විවිධ වස්ත්‍රයෙන් කළ සිවුරු මෙසේ අනුමත කළහ.

1.අලුත් වස්ත්‍රයෙන් හා වරක්  සේදු වර්ණයෙන් කළ දෙපටක් ඇති සඟල සිවුර
2.එක් පටක් ඇති උතුර සඟල සිවුර
3.එක් පටක්  ඇති අදනා සිවුර
4.පැරණි වස්ත්‍රයෙන් කළ සිවු පටක් ඇති සඟල සිවුර
5.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති උතුර සඟල සිවුර
6. පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති අඳන සිවුර
7.පාංසුකූලයේ කැමති පමණ බට ඇති සිවුර
8.කඩපිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුර

එසේම සිවුරෙහි අණ්ඩලීම ක්‍රම කිහිපයක් වශයෙන් දැක්වීය.
අග්ගලං    - අණ්ඩලීම
තුන්නං     - නූලෙන් එල්ලීම
ඔවට්ටිකං   - වැට් කොට මැසීම
කණ්ඩුසතං  - කෑලි  පිට කෑලි ඇල්ලීම
දැළහී කම්මං  - දැඩි කිරීම

මෙසේ සිවුරු භාවිතා කළ පසු සිවුරු පරිභෝජනයට ගත නොහැකි කල්හි ඒවා විවිධ අරමුණු විෂයෙහි යෙදවීය.
දිරා ගිය සිවුරුවලින් ඇතිරිලි තනා ගැනීම, දිරා ගිය සිවුරුවලින් බිසිඋර තනා ගැනීම, දිරා ගිය බිසිඋරවලින් බිමට අතුරන බුමුතුරුණු තනා ගැනීම, දිරා ගිය බුමුතුරුණුවලින් පාපිස්නා බිසි තනා
ගැනීඹ , දිරා ගිය පාපිසිවලින් දූවිලලි පිස දමයි, පොළව  පිස දැමූ රෙදි කැබලි මැටි හා මිශ්‍ර කර
බිත්තිවල ආලේප කරයි. මෙසේ විවිධ සංශෝධනවලින් යුක්තව භික්ෂූන් වහන්සේලා භාවිත චීවරය සංවර්ධනය විය. එය භික්ෂු ජීවිතයේ මූලික අරමුණ අපේක්ෂා වන පරිදි අනන්‍යතාව සුරැකෙන පරිදි වෙනස්කම්වලට යොමු විය. නමුත් එය පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පැවත ඒම දක්නට ලැබෙයි. තායි භික්ෂුව හා ලාංකික භික්ෂුව අතර සිවුරු පරිහරණයේ වෙනස්කම් පවතියි.

බෞද්ධ චීවරයේ දැකිය හැකි අන්තර් සංස්කෘතික ලක්ෂණ න්‍යායික ප්‍රවේශයෙන්

අන්තර් සංස්කෘතික සන්නිවේදනය පිළිබඳ හඳුනා ගත හැකි මූලික න්‍යායන් හතරක් තිබෙයි. ඒ  අතරින් සිවුර නැමැති සංස්කෘතික සංඝටකය පිළිබඳ න්‍යයාත්මක ප්‍රවේශයෙන් බැලීම සඳහා එඞ්වඞ්. ටී. හෝල්  විද්‍යාඥයාගේ අර්ථකථනය පාදක කර ගනු ලබයි.

“එක් එක් සංස්කෘතීන් තුළ වෙසෙන පුද්ගලයන් තුළ වසා සිටින ආත්මීය සහ කායික සංස්කෘතික සංඝටක  අන්තර් සංස්කෘතිය නියෝජනය කරයි. එමෙන්ම එකිනෙකාගේ සංස්කෘතික රීතීන්ට අනුකූලව එකෙකු තවකෙකුගෙන් වෙන් කරනු ලබන දුරස්ථභාවය ඇති කරනු ලබන සීමාවන් ද මෙහිදී පෙන්වා දිය හැකිය.”
මෙහිදී  නිල ඇඳුම යන්න භාවිතය තුළින් එකී වෘත්තිය නිරූපණය වනවාත් සම`ඟම එහිදී එම සංස්කෘතියද නිරූපණය කරයි. භික්ෂුව සමාජයේ අනෙකාගෙන් වෙන් කර හ`ඳුනා ගනු ලබන්නේ චීවරය නිසාවෙනි. භික්ෂුව අනෙකාට වඩා කායිකව මෙන්ම මානසිකවත් වෙනස් වෙයි. එම වෙනස සංස්කෘතිය නිරූපණය කරයි. ලාංකේය භික්ෂුවකගේ චීවර භාවිතයට වඩා තායිලන්ත භික්ෂුව වෙනස්ය. ඇතැමෙක් දෙවුර වැසෙන්නම සිවුර භාවිතා කරන අතර වෙනත් භික්ෂුවක් තම සංස්කෘතික රටාවකට අනුව එය වෙනත් ආකාරයකට අඳිනු ලබයි.

සිවුරු භාවිතය පිළිබඳ විවිධ මතවාදයන් පවතියි. උතුරු ඉන්දියාවේ පැරණි බුදු පිළිමවල බුදුන් වහන්සේ දෙවුර වසා සිවුරු පෙරවීම දක්නට ලැබෙයි.

මේ අනුව 1900 දී රාමඤ්ඤ නිකායෙන් පාරුපනවත නම් ග්‍රන්ථය පල කර අතර සියම් නිකායේ කොග්ගල ඤාණාලෝක හිමි ඒකාංශ චීවර පෙරවීම අනුමත කරමින් පාරුපනපාලි ග්‍රන්ථය ලියමින් අඳනය චීවරයට වඩා දික්විය යුතු බවද පැවසීය. කෝදාගොඩ ඤාණලෝක හිමි පාරුපන සික්ඛා නැමති ග්‍රන්ථයද අතුරුලියේ සුමංගල හිමි පුරාණ පාරුපනවත නම් ග්‍රන්ථ ලිවීය. අවසානයේ සියම් නිකායේ හික්කඩුවේ සුමංගල හිමියන්ගේ පාර්ශවය විදf්‍යා්දය පිරිවෙන මුල් කොට උභය පාරුපනය පිළිගෙන ඒ අනුව චීවර පෙරවීම කළහ. එසේම රාමඤ්ඤ හා අමරපුර නිකායන්ද උභය පාරුපනය අනුගමනය කළහ. එයින් පෙනීයන්නේ සිවුරු පෙරවීමේ චාරිත්‍රය උතුරු ඉන්දියානු සංස්කෘතියෙන් අපේ සංස්කෘතියට ආගමන වූවක් බවයි.
මෙය අන්තර් සංස්කෘතිය පිළිඹිබු කරයි.

එමෙන්ම 1976 දී හෝල් විසින්  අන්තර් සංස්කෘතිය හඳුන්වා ඇත්තේ මෙසේය.

“මානවයා සෑමවිටම ජීව විද්‍යාත්මක වෙනස්වීම් සමඟ වඩ වඩාත් සංකීර්ණ බවට පත්වෙමින් පරිණාමය වන බවයි. නමුත් එහිදී පෙන්වා දෙනු ලැබුවේ මානව ජාන වෙනස් වීමට සාපේක්ෂාව සංස්කෘතික වටිනාකම්, යුධ ගැටුම් හා තාක්ෂණය හේතු කොටගෙන වෙනස් වන වේගය වැඩි බවයි.”

මිනිසා නව සංස්කෘතිකාංග උකහා ගන්නේම සමාජයේ පරිණාමයත් සමඟය. අද වනවිට චීවරයේ සැකැස්ම පිළිබඳ විවිධ මතවාදයන් පවතියි. අතීතයේදී ඒ සඳහා යොදා ගත්තේ පරිසරයෙන් ලබා ගත් අමුද්‍රව්‍යයන්ය. නමුදු අද වනවිට සිවුරු පඬු පෙවීම සඳහා කෘතීම වර්ණකාරකයන් භාවිතා කරයි. එය හෝල් විසින් ඉදිරිපත් කර ඇති උක්ත න්‍යායේ සත්‍යතාව සනාථ කරවයි. නව්‍යකරණයත් සමඟ නව සංස්කෘතිකාංගත් සමාජගත වෙයි.

ලක්දිව පැවති සිරිත් නීති සම්ප්‍රධාය රෝම ලන්දේසි නීති මූලධර්මවලට ගැලපීමෙන් විහාරස්ථාන හා භික්ෂූන් සඳහා වූ නීති සකස්කොට තිබෙයි. එසේම විවිධ අධිකරණ තීන්දුවලින් බෞද්ධ ආගමික තීන්දුව සංවර්ධනය වී ඇත. චීවරය සම්බන්ධ සිරිත් සම්ප්‍රධායක් ගොඩ නැගෙන්නේ ද ඒ අනුවය. මහනුවර යුගයේ ලක්දිව පැවතියේ සියම් මහා නිකායට අයත් අස්ගිරි හා මල්වතු පාර්ශවයන් පමණි. පසුව අමරපුර හා රාමඤ්ඤ වශයෙන් නිකායන් ඇති විය. සියම් නිකායේ අස්ගිරි හා  මල්වතු දෙකට අමතරව ඇති වූ පාර්ශව පහක් පමණ වෙයි. සමස්ත අමරපුර මහා සභාව වශයෙන් සියලු නිකායන් ඒකාබද්ධව කටයුතු කළත් ඒ සියලු නිකායන්ගේ අනන්‍යතාව වෙනම පවත්වා ගෙන යයි. සිවුරු භාවිතයේදී ඉහතින් දක්වා ඇති පරිදි වර්ණය සහ අඳිනු ලබන ආකාර අතර වෙනස්කමක් දක්නට ලැබෙන්නේ ඒ නිසාය.

පෙලොන්නරු යුගයෙන් පසුව ලක්දිවට ඉන්දියාවෙන් මෙන්ම අග්නිදිග ආසියානු ප්‍රදේශවලින්ද භික්ෂූන් වහන්සේලා වැඩම කර තිබෙයි. සියම් දේශයෙන් උපසම්පදාව ලැබෙන්නට විය. මේ සිදුවීම් සමඟ පිටරට භික්ෂූන් වහන්සේලාගේ චීවරය භාවිත සිරිත් ආගමනය වූ නිසා ලාංකික භික්ෂුවද එම ලක්ෂණ ලාංකීය සංස්කෘතියට එක් කර ගනු ලැබූ බවට සාක්ෂි හමුවෙයි.

ලංකාවේ ප්‍රධාන වශයෙන් බෞද්ධ නිකායන් තුනක් පවතියි. උපසම්පදා කර්මය පිහිටුවීමෙන් මෙරට සියම් නිකාය ආරම්භ කළ සංඝරාජ නා හිමියෝ අමරපුර නිකායේ ආරම්භයටද මුල් වූහ. මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සියම් නිකාය ව්‍යාප්ත වූ අතර අමරපුර නිකාය ව්‍යාප්ත වූයේ දකුණු ප්‍රදේශ මූලික කර ගනිමිනි. ඒ  සඳහා බුරුම රටින් උපසපන් භිකෂූන් වහන්සේ වැඩම වූ අතර ඒත් සමඟම එම සංස්කෘතිකාංගත් ආගමනය විය. රාමඤ්ඤ නිකාය තායිලන්තයේ පවතින තම්මයුක්ත නිකායට සමරූපි ලෙස බිහි විය. මෙම නිකාය ආරම්භ වූයේ 1863 දි ගාල්ලේ නදී උපෝසථගාරයේදී උපසම්පදා කර්මය සිදු කිරීමෙන් පසුය. මෙම නිකාය කිසිදු උප බෙදීමකට ලක් වී නොමැති හෙයින් තායිලන්තයෙන් ලැබුණු ලක්ෂණ තවමත් පවතින බව සඳහන් වෙයි.

සියම් දේශය හා ලංකාව අතර බෞද්ධ සංසකෘතික සම්බන්ධතා ඇතිවූයේ බුද්ධ වර්ෂ 700 දී පමණය. ක්‍රිස්තු වර්ෂ 1425 තරම් දුරාතියේදී සියම් හා කාම්බෝජ භිකෂූන් විශාල පිරිසක් කැළණියේදී උපසම්පදා ලැබූ බව “ජිනකාලමාලිනි”යෙහි සඳහන් වෙයි. මේ කාලය වන විට විදේශික බලපෑම නිසා තායි බුදු දහම පරිහානියට පත්ව තිබූ අතර ලංකාවට  පැමිණ පිවිතුරු බුදු දහම ඉගෙනීමට සියම් භික්ෂූන් වහන්සේලා කල්පනා කළහ. කැළණියට පැමිණ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන්නට විය.
සිවුරු ඇඳීමේදී පවතින අන්තර් සංසකෘතික ලක්ෂණ බලන කළ ඇතැම් භික්ෂූන් වහන්සේලා සිවුර හැඳ ඉන වටා පටියක් බදිනු ලබයි.

මෙම පටිය බැඳන්නේ මෑතකදී නොව. අතීතයේ පටන් භික්ෂූන් වහන්සේලා මෙසේ කරනු ලබයි. 1980 දී පමණ ධර්මිෂ්ඨ සමාජය පැවගි යුගයේ සිට මෙය දක්නට ලැබෙයි. මෙම පටිය විශේෂ අවස්ථාවල එනම්, කුල දරුවෙක් ප්‍රවෘජාවට පත් කිරීම, උපසම්පදා කිරීම, කඨිනය පිළිගැන්වීම වැනි විනය කර්මවලදීත්, දළදා තේවාව වැනි පූජාවලදීත් අඳිනු ලැබෙයි. මේ අවස්ථාවල එක ඉරියව්වෙන් සිටීම නොව විවිධ ඉරියව් පැවැත්වීම අත්‍යවශ්‍ය වීවත් සිවුර වැනි ලිහිලි ඇඳුමක් අංග චලනයට බාධාවක් නොවූවත් අංග චලනය හේතුවෙන් එය නැවත නැවත ඇඳීමට සිඳු වීමේ පළිබෝධයත් සැලකූ කළ පටිය බැඳීම සාධාරණීකරණය කෙරේ. ගෞරවය දැකවීම පිණිස උතුරු සළුව පටියක් කොට ගැට ගසා ගත් අවස්ථා තිබෙයි. අපේ පැරැන්නෝ ප්‍රභූන් හමුවූ විටෙක කර රැදි ලේන්සුව හෝ සළුව අතට ගත්  බව කියන්නේත් මේ නිසාය. භික්ෂූන් වහන්සේලා පටියක් කර බඳින්නේ වස්ත්‍රයම වෙයි. මෙය සම්ප්‍රධායික සියම් නිකායේ කොටසකි. සියම් නිකායේ භික්ෂූන්වරුන් මෙසේ සිවුරු  පටි පැළදීම දක්නට ලැබුණද එම සංස්කෘතිකාංගය අප බෞද්ධ සංස්කෘතියට ආගමනය වී ඇත්තේ තායිලන්තයෙනි.

බුදුන්වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කිරීම, මිහිදු මහ රහතන් වහන්සෙගේ මහින්දාගමනයත්, සංඝමිත්තා තෙරණියගේ දුමින්දාගමනයත් සමඟ ලංකා සමාජයට ලැබුණ සංස්කෘතිකාංග බොහෝය. බෞද්ධ චීවරයේ ලක්ෂණ ද ඒ අනුව බෞද්ධ සමාජයට උරුම කියන්නට විය. ඉන්දියානු ,තායිලන්ත ,බුරුමයේ ඇතැම් ලක්ෂණ මිශ්‍ර කර ගනිමින් විකාශය  වූ බුද්ධ චීවරය අද වන විට එයටම  අනන්‍ය වූ ලක්ෂණ සහිතව වෙනස්කම්වලට ලක්වෙමින්  පවතියි.