Thursday, January 26, 2017

පුරුෂාධිපත්‍යය





බයාදුකම, නිහඬභාවය, අහිංසකකම, යටත්වීම ....මේ හැම දෙයක්ම මෙලොාව එළිය දුටු දා පටන් ම කාන්තාවකට උරුම වූ ගුණාංගයන්ය. ඇය ඒවා බලෙන් කරපින්නා ගත්තේ  නොව සමස්ත සමාජය විසින් ඇයව ලේබල් කර ඇතතේ එලෙසය. උපතින්ම ඇය අනෙකාගේ සේවයට ලක්වන්නීය. එකී තත්ත්වය අද පමණක් නොව බුද්ධ කාලීන භාරතීය සමාජයේ පවා  එලෙසය. කුඩා කළ පියාගේ රැකවරණය ලබන ඇය තරුණ වයසේ දී සිය ස්වාමියා යටතේ ජීවත් විය යුත්තේය. විවාහ ජීවිතයේදී ඇය ලබන අත්දැකීම අතිශය කටුක වූවකි. එයට සාක්ෂි අපමණය.
 

වත්මනයේදී කාන්තාව මවගේ භූමිකාවට අමතරව සිය ජීවිත වේදිකාවේ විවිධ භූමිකා දරන්නීය. නමුදු සියල්ලන්ගේ ජීවිත සතුට සලසන ඇයට ඇගේ ජීවිතයේ සතුට, සැනසුම සැලසෙන්නේ කවදාද? ජීවිතයේ වැඩි කාලයක් ඇය පුරුෂයන් සමඟ  ජීවත් වෙයි. එමෙන්ම පුරුෂයන්ගේ අඩන්තේට්ටම්වලට ඇය නතු වන්නීය. පුරුෂාධිපත්‍යය මේ වනවිටත් නිවස තුළ හිස ඔසවා සිටියි. ගෘහස්ථ ජීවිතයේ පමණක් නොව කාර්යාලීය ජීවිතයේ පවා ඇය පීඩා ලබන්නේ මේ නිසාය. මෙලෙස නිරන්තරයෙන් ඇගේ ජීවිතයේ ඇත්තේ අනෙකාට යටහත් පහත්ව සිටීම පමණි.
 

බොහෝවිට නිවසේ බර පැන උසුලන්නී ඇය වූවත් ඇගේ ජීවිත ගමනේ හැලහැප්පීම්, බාධාක අපමණය. කාන්තාවක වශයෙන් උපත ලද බොහෝ දෙනා මෙයට මුහුණ දිය යුතුය. පුරුෂයා විසින් බලෙන් ආරෝපණය කර ගත් මේ ආධිපත්‍යය ගැහැණිය තලාපෙලා දමන්නීය.“ උඹ ගැහැණියක් නිසා මම කියන විදිහටයි ඉන්න ඕන” මේ නිරන්තරයෙන් පිරිමියෙකු විසින් කාන්තාවකට හිමි කරදෙන භුමිකාවය. මෙය කවරෙකුගේ වරදක්ද? උපතේ දී ගැහැණිය හා පිරිමියා වශයෙන් මිනිසාව ලේබල් කිරීමේදී සිදු වූ  වරදක්ද? නිවසේ භාරදූර වගකීම්වල නිරත වන ඇය මෙලෙස පුරුෂාධිපත්‍යය හමුවේ පීඩා විඳිය යුතුද? ඇයට තනිවම ගමනක් බිමනක් යා නොහැක. පිරිමි යහළුවන් සමඟ සුහද සබදතාවයන් පැවැත්විය නොහැක. නිදහසේ තනි තීරණ පවා ගැනීම අපහසුය. කාන්තාවන් මෙසේ පීඩාවට පත් කර පිරිමින් බලාපොරොත්තු වන සහනය කුමක්ද? පිරිමියා දන්නේ අණ දීමට පමණි. එකී අණ පළිපැදීම කාන්තාව සතුය. කොපමණ කාන්තා සංවිධාන පැවැතියද කාන්තාවකට සැබෑ නිදහස ලැබෙන්නේ කවදාද? යුග දිවියට ඇතුල් වූදා සිට ඇය විඳින දුක් වේදනාවන් කොපමණ පැවතියද, බොහෝ ස්ත්‍රීන් පවුල් ජීවීත ගත කරන්නේ ම මව් පදවියේ යදම් බිඳද යා නොහැකි නිසාය. ඇය පුරුෂයන් හමුවේ දණ නමන්නීය. ලොව සම අයිතිවාසිකම් ලැබිය යුතු කලෙක පිරිමියාට පමණක් මෙලෙස අසීමිත බලයක් ලැබුණේ කෙලෙසද? කාන්තාවක් සැබෑ ලෙසම පිරිමියාට යටහත් පහත්ව සේවය කළ යුතුද? ඇයට සිදු වන මෙකී සාධාරණය හමුවේ නැගී සිටින්නේ කවදාද?
                  

Tuesday, January 17, 2017

      බවතරණයේ සමාජ බලපෑම   

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත බවතරණය නව කතාව සමාජයට කොතරම් බලපෑවේද යන්න , එහි යම් කොටස්  වාරණයට හසු වීමෙන්ම පැහැදිලි වෙයි. වික්‍රමසිහයන්ගේ අවසාන නව කතාව වූ බවතරණය සමාජයේ ගිහි පැවිදි පඬුවන් අතර මහත් ආන්දෝලනයට පාත්‍ර වූවකි. ගතානුගතික විශ්වාසයන්ගෙන් බැහැරව නව මතයක් ඉදිරිපත් කිරීමේ කඩඉමක් වශයෙන් “බවතරණය” හැඳින්විය හැකිය.
 


බවතරණය මුල් මුද්‍රණයෙන් හාර මසයට පසු බෞද්ධ ලෝකයාගේ ගෞරවය දිනාගත් භික්ෂූන් එකතුව උද්ඝෙෘ්ෂණයක් දියත් කළහ. බවතරණය බුදුන් වහන්සේට කළ නිගාවක් යැයි පවසමින් ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන , ශ්‍රීමත් සිරිල් ද සොයිසා වැනි ගිහි බෞද්ධ නායකයෝද පරම විඥනාර්ථ බෞද්ධ සංගමය හා තරුණ බෞද්ධ සංගමය වැනි සංවිධානද මෙම උද්ඝෝෂණයට සහභාගි විය. එනමුදු සියලු බෞද්ධයෝ මෙම මතයට එකග නොවූහ. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර හා වෛද්‍ය ගුණදාාස අමරසේකර වැනි ප්‍රවීන සාහිත්‍යධරයන් එකසේ ප්‍රබලව තර්ක කලේ බුදුන් වහන්සේට නිගා දෙන කිසිදු සටහනක් එහි අන්තර්ගත වී නොමැති බවයි. කෙසේ වුවද බවතරණයට හා එහි කතුවරයාට එරෙහිව ගොඩ නැගුණ විරෝධය විසින් පොතට පක්ෂ වූ සියලු හඬ යටපත් කරනු ලැබීය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ සහභාගීත්වයෙන් 1974 මාර්තු මස රැස් වූ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ විධායක සමිතිය රජය විසින් බවතරණය තහනම් කළ යුතු බවටත් එසේ නොකළහොත් රජයට විරුද්ධව දිවයින පුරා උද්ඝෝෂණ සහ රැස්වීම් පවත්වන බවටත් තීරණය කළේය.
 

මේ අතරතුර අස්ගිරි මහා නාහිමියන් විසින් අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙත පවතින තත්ත්වය සැලකිරීමෙන් පසු සංස්කෘතික අමාත්‍යයංශය විසින් කරුණු සොයා බලා වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදි.
 

බවතරණයට එරෙහිව තවත් බොහෝ පාර්ශව එක්වෙද්දි 1974 වසර පුරා එහි උත්සන්න බවක් විද්‍යාමාන වෙයි. ඒ සමඟම රජයට විරුද්ධව දේශපාලන පක්ෂ පිරිස් රජය අපහසුතාවට පත් කිරීමේ දේශපාලන ක්‍රීඩාවකද නියැලුණහ. බවතරණය විරෝධි උද්ඝෝෂකයන්ගේ බලපෑමෙන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවතරණය තහනම් කරන ලෙස කැබිනට් මණ්ඩලයට සහ අගමැතිනියට බලපෑම් කරන්නට විය. 

කතුවරයා බුදුනු චරිතයට නිගරු කළේ යැයි පවසමින් හදිසි රෙගුලාසි යටතේ ඔහු අත්තඩංගුවට ගෙන සිපිරි ලෙයි දමන මෙන් අගනුවර එක්සත් බෞද්ධ මණ්ඩලය ද රජයට බල කළේය. කොළඹ  නගරසභා විවාදයකදී එක්සත් ජාතික පක්ෂ නගර සහිකයකු සඳහන් කළේ මාර්ටින් වික්‍රමසිංහ බුදුන් වහන්සේට එරෙහිව මෙසේ ලියා ඇත්තේ රුසියන් සවාරියේදී වොට්කා බීමෙන් පසුව විය හැකි බවයි. එතැනින් නොනැවතුන එම සහිකයා රුසියන් සංචාරයේදී අසූවිය පසුකළ කතුවර ජීවිත  කතාවට තවත් පිටුවක් එක් කරමින් ඔහු බෞද්ධ භික්ෂුවක වී උපසම්පදා ලැබීමෙන් අනතුරුව ගිහි ජීවිතයට ආගමනය කළ බවත් පැවසීය.  බවතරණය මේ රටේ බෞද්ධාගම විනාශ කිරීමේ මාක්ස්වාදි පාපිෂ්ඨ තැනක් බවට සමහරු පැවසීය. මේ සියල්ල පැවසෙද්දි මේ වියත් ප්‍රාඥයා බෞද්ධ දර්ශනයට අනුව උපේක්ෂා සහගතව මුනිවත රැක්කේය.
 

සිදුහත් සිරිත හා බුදු සිරිත විවරණය කරමින් ලියූ බව කීවත් බවතරණයෙන් බුද්ධ චරිතය විකෘති කර ඇති බවට බෞද්ධ භික්ෂූහු චෝදනා කළහ. බවතරණයට එරෙහිව හික්කඩුවේ ප්‍රඥාරාම නා හිමියෝ “බවතරණයේ මඟ” හා “බුද්ධ චරිතය” යනුවෙන් පොත් දෙකක් ලියා පළ කළහ. මාර්ටින් වික්‍රමසිංහයන් සිංහල නවකතාවේ ලකුණ ලෙස හැඳින්වූවත් ඔහුගේ කෘතිය විවේචනය කිරීමට පවා එකල භික්ෂූන් වහන්සේලා පසුබට නොවූ ආකාරය මනාව පැහැදිලිය. පසුකලෙක බවතරණයෙන් පන්නරය ලබා කේ.ජයතිලක ලියූ බුද්ධ චරිතය කෘතිය ද කර ඇත්තේ බුද්ධ චරිතය විකෘති කිරීමක් යැයි හෑගොඩ විපස්සී ස්වාමීන් වහන්සේ පවසන ලදි. එතුළින් පැහැදිලි වන්නේ මිනිසා හුරුව සිටි දෙයින් පිටත කිසිවක් භාර ගැනීමට අපොහොසත් බවයි.
 

බුදු දහම පිළිබඳ ලියූ  විකෘති පොත්පත් හා රටේ සදාචාරයට නොගැලපෙන පොත්පත් ගිනි තබා විනාශ කළ යුතු බවට යෝජනාවක් හැටේ දශකයේ ගාල්ලේ පැවති සමුළුවකදී යෝජනා කර සම්මත කර ගනු ලැබීය. ගාල්ලේ ප්‍රඥාසාර පිරිවනේ පැවති එම සමුළුවේදී මෙම යෝජනාව සම්මත කර ගනු ලැබුවේ ගාල්ලේ විද්‍යාලෝක පරිවෙණාධිපති හෑගොඩ ඛේමානන්ද ,ගාල්ල කොටුව විහාරාධිපති ගෝනපිනුවල පුඤ්ඤාසාර හා උළුවිටකේ ජයසුමනාරාධිපති උළුවිටකේ සංඝරත්න යන නාහිමිවරුන්ගේ මූලිකත්වයෙනි.
 

මෙසේ බුදු දහම විකෘති කරමින් ලියන ලද පොත්පත් වාරණය කිරීමට උපදේශක මණ්ඩලයක් පාර්ලිමේන්තු පනතකින් සම්මත කළ යුතු බව පෑගොඩ විපස්සි සිවාමීන් වහන්සේ රජයට යෝජනාවක් ඉදිරිපත් කරන ලදුව තිබේ. ඒ පිළිබඳ බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රසෝම ගමගේ මහතා  පවසන්නේ
“බුදු දහම පිළිබඳ ලියැවෙන පොත්පත් ප්‍රකාශයට පත් කිරීමට පෙර විද්වත් මණ්ඩලකට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරන බවයි. ”
 

නව  නීතියට කැබිනට් මණ්ඩලයෛ් අනුමැතිය ලබා දී ඇති බව පවසන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා නව පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බව සඳහන් කළේය. නව පනත යටතේ බුදු දහම හා බුද්ධ චරිතය සම්බන්ධයෙන් ලියැවෙන පොත්පත් ප්‍රකාශයට පත් කිරීමට පෙර විද්වත් සම්මුතියට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු බවට සඳහන් වෙයි. මහා නා හිමිවරයෙක් ඇතුළු බුදු දහම පිළිබඳ හසල දැනුමක් ඇති පිරිසකගෙන් මෙම කමිටුව සමන්විත වනු ඇත. බවතරණයේ සමාජ බලපෑම කොතරම්ද කියතොත් බුදු දහම පිළිබඳ විවේචනයන්ට වාරණයන් පවා රජය විසින් තීරණය කිරීම දක්වා බලපානු ලැබීය.
 

නවකතාකරුවා අතින් සිඳුවිය යුත්තේ නිද්‍රාශීලී සමාජය අවදි කිරීමයි. ජීවිතයේ යථාර්ථය හෙළි කීරීම නව කතාවේ මූලික අභිප්‍රාය නම් වික්‍රමසිංහයන් හෙළි කළ නව කතා හයෙන් සිදු වූයේද එබන්දකි. ඇත්ත ඇති සැටියෙන් හෙළිකළ බොහෝ නව කතාකරුවන්ට සමාජයේ ගැරහුම් හිමිවිය. සැබෑ නවකතාකරුවා එය නිහඬව භාර ගත්තේය. වික්‍රමසිංහයන් ද එවැන්නෙකි. බුදු සිරිත විකෘති කොට ඇතැයි සමාජය දොස් නැගීය. යමක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය හිමිවන්නේම එහි ඇති සුවිශේෂිතාවය නිසාය. වික්‍රමසිංහයන්ගේ බවතරණය සමාජයට බලපෑම් කරන්නේද එහි සමාජය පිළිනොගත් දේ අන්තර්ගත වී තිබූ නිසිවෙනි.
බවතරණයේ සෝදුපත් බැලීම භාර වූයේ දයාපාල ජයනෙත්ති මහතාටය.
“පුලුස්කැප් පිටුව දෙකට කපලා පොතක් විදිහට හදලයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලියන්නේ. අකුරු සාමාන්‍යයෙන් ලොකුයි.”
දයාපාල ජයනෙත්ති  මහතා පවසන ආකාරයට මහා ගත්කරුවා සිය සාහිත්‍ය නිර්මාණයන් සටහන් කරන ලද්දේ එසේය. සෝදුපත් කිරීමේදී භාවිත කරන නිශ්චිත සංකේත පිළිබඳවද ජයනෙත්තිට මුලින්ම කියා දුන්නේ වික්‍රමසිංහයන්ය. බවතරණය එකල භික්ෂු සමජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ කෘතියක් විය. බවතරණය මඟින් බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කර ඇතැයි බොහෝ දෙනා වික්‍රමසිංහයන්ට චෝදනා නැගූහ.
 

“මාර්ටින් වික්‍රමසසිංහ මහත්තයාට අවශ්‍ය වුණේ බුදුරජාණන් වහන්සේ අතිශය මානව භක්තියෙන් යුතු පුරුෂයෙකු බව පැවසීමටයි. සිදුහත් කුමාරයා තමන්ගේ ආත්මය ගලවා ගැනීමේ අදහසින් නොව මුළු මහත් මනුශය වර්ගයා කෙරෙහිම අපිරිමිත දයාවකින් අබිනික්මන් කළ බව කියන්න. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා බවතරණය ලියද්දි හිතේ තිබ්බ දෙයක් තමයි බුදුන් වහන්සේ දේවත්වයට නැගීමෙන් අනාගතයේ විද්‍යා දැනුම බහුලව ලබන තරුණ පරම්පරාව බුදුන් වහන්සේ වෙතින් ඉවත් වේවි. එය වළක්වන්න ඕනෙයි යන්න ....”
 

මෙලෙස පවසන දයාපාල ජයනෙත්ති මහතා වැඩිදුරටත් පවසන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් බවතරණය ලියන සමයේ ජීවන්ත පැපිනි ලියූ ක්‍රිස්තු චරිතයත්, හර්මන් හෙසගේ ලියූ සිද්ධාර්ථයත් කියවූ වග මතක බවයි.
 

බෞද්ධ මතවාදයකට හැටියට වික්‍රමසිංහයන් ලියූ බවතරණය පෙරළිකාර නවකතාවක් දැයි ප්‍රශ්න කළ විට ටෙනිසන් පෙරේරා මහතාගේ අදහස වූයේ,
“යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන්ට පිළිතුරු ලියන්න තරම් පෙළරිකාර පොතක් නෙමේ මේක. හර්මන් හෙසේගේ සිද්ධාර්ථ වාගේ නවකතාවක් එක්ක බලද්දි මෙහි කිසිම වටිනාමක් නැහැ. මහාචාර්ය ගම්ලත්ගේ බුද්ධ චරිතය පොත මීට වඩා හොඳයි.”
 

බවතරණය තුළින් සිදු වූ සමාජ බලපෑම කෙසේද යන්න පැහැදිලි වෙයි.
මාර්ටින් වික්‍රමසිංහ ශූරින් තම 86 වියැති ජීවිත කාලය තුළදී කරන ලද විශාල වූ නිර්මාණ සම්භාරය අතුරින් බවතරණයට සුවිශේෂි තැනක් හිමි වන්නේ එම ග්‍රන්ථය ලාංකේය ජනතාව තුළ විප්ලවීය චින්තන වෙනස නිසාය.
 

බවතරණය ලාංකික බෞද්ධ සමාජය පිළිගත්තේ, සිදුහත් කුමරු සුපිරි තරුණයෙකු නොව ඉන්දියානු සමාජයේ ජීවත් වූ මනසින් මුහුකුරා ගිය බුද්ධිමත් සාමාන්‍ය තරුණයෙකු බවයි. එමෙන් ම බුදුන් වහන්සේ අරුම පුදුම දෙවි කෙනෙකු නොව උසස් චෛතසිකයෙන් යුත් දියුණු වූ මනුෂයෙකු බවයි.
 

මෙතෙක් බුද්ධ චරිතය සාහිත්‍යයට නැගීමේදී කතුවරුන් විසින් එක් කර තිබූ අද්භූතවාදි අතිශෝක්ති සහගත වූ දේවත්වයට සමාන ඇතැම් වර්ණනා පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහයන් තරයේ ප්‍රතික්ෂේප කළහ.
“මගේ මේ සිදුහත් බුදු සිරිත නව කතාව මම රචනා කලේ බමුණු සකු අත්භූතවාදය හා රීතිය ඉදුරා බැහැර කොට යථාර්ථවාදය හා රීතිය පදනම් කරගෙනය.”
 

බවතරණය සංඥාපනයේ 7 පිටුවේ සඳහන් මෙම ප්‍රකාශය තුළින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අරමුණ ඉතා හොදින් පැහැදිලි වෙයි.
සිදුහත් උත්පත්තියට සමකාලීන ඉන්දියානු සමාජය තුළ වාදයෙන් බෙදී ගිය සමාජයක් විය. සිදුහත් උපන් පෙදෙස පිළිබඳ මනා භූගෝලීය විස්තරයක් මෙන්ම උපන් සමාජ පරිසරය පිළිබඳ මනා විස්තරයක් පාඨකයන්ට දැන්වීමට වික්‍රමසිංහ ශූරීන් විසින් මෙම නව කතාව තුළින් උත්සාහ ගෙන ඇත්තේ සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්ම යාමේ හේතුව විග්‍රහ කිරීමට පසුබිම සැකසීමටය.
 

සිදුහත් කුමරා ඉපදීම සම්බන්ධයෙන් පාරම්පරික සාහිත්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ජාතික අටුවාවෙහි උපන් හැටියේ කතා කිරීම ,සත් පියවරක් යාම ,සතලිස් දහසක් නළඟනන් පිරිවරා සිටීම, සතර පෙර නිමිති පෙන්වූයේ දෙවියන් විසින් යැයි කීම වැනි ප්‍රබන්ධ කතාවන් බවතරණයේ සිදුහත් උපත  පිළිබඳ පරිච්ඡේදයෙන් බැහැර කර ඇත. එමෙන්ම නෙළුම් මල් සතක් මත සිදුහත් කුමරා පා තැබූ බව කියැවෙන අතිශෝක්ති සහගත මවාපෑම් මාර්ටින් වික්‍රමසිංහයන් ප්‍රතික්ෂේප කර තිබීම ද මේ කෙරෙහි භික්ෂූන් වහන්සේලාගේ අප්‍රසාදය යොමු වීමට හේතු වූ බව සඳහන් කළ හැක.
 

එමෙන්ම සිදුහත් තවුසන්ට සිය දුෂ්කරා ක්‍රියා සමයේදී ගෝපිකා නම් කාමි ලියක් හමුවන්නීය. කාමි ලියක් ලෙස හඳුනන්වා දීමට හේතුව වන්නේ ඇය අප මනසට ප්‍රවිශ්ට කර ඇති ආකාරරය නිසාවෙනි.
 

“දැඩි කුඩා පියයුරු ඇති සම මදක් එළලු ඇත්තියක්... ” ලෙස මාර්ටින් වික්‍රමසිංහයන් ඇයව ප්‍රවිශ්ට කරයි. ඇය සිදුහත් තවුසාට පිළිගන්වන්නේ එළකිරිවලට බිත්තර සුදු මද දමා සෑදු පෝෂණීය පානයකි. මෙය නව කතාකරුවාගේ නිර්මාණයකි. එහෙත් මේ අවස්ථාව දෝශ දර්ශනයට ලක් කළ යක්කඩුවේ ප්‍රඥාරාම හිමියෝ එයට එරෙහිව ග්‍රන්ථ පල කළහ. එයින් ඇති කළ සමාජ බලපෑම කොපමණ දැයි කිවහොත් අවසානයේදී මාර්ටින් වික්‍රමසිංහයන්ට එම  කොටස්  ඉවත් කර ගැනීමට පවා සිදු විය.
 

එයින් පෙනී යන්නේ ජන මනස තුළ ස්ථාවරව තැන්පත්ව තිබෙන පරමාදර්ශී චරිත එබදු වෙනස්  කිරීම්වලට භාජනය කිරීම අනතුරුදායක බවයි. එය ලාංකේය සමාජයට පමණක් නොව සමස්ත ලෝකය පුරාම දැකිය හැකි ලක්ෂණයකි. සල්මන් රුෂ්ඩි, තරිෂ්මා, නස්රීන් වැනි ලේඛික ලේඛිකාවන්ටද ආගමික මතවාද ප්‍රතිනිර්මාණය කිරීම බලවත්  අර්බුදකාරී තත්ත්වයන් ඇති කළ බව දනිමු.