Thursday, January 12, 2017

බණ්ඩාර දේව සංකල්පය

                                  බණ්ඩාර දේව සංකල්පය





අප රටෙි දේව ඇදහිලි හා විශ්වාසයන් ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට පැවතෙයි. අදහන ආගම දේව වාදි වීම නිසා නොපෙනෙන දෙවියන් කෙරේ දැඩි විශ්වාසයක් ඇති විය. ඵ්වායින් දේශනා කෙරුණේද ‘දේව ධර්මය’යි. මැවුම්කරු ‘ දෙවියන් ’ලෙස ද නම් කෙරුණි. අප රටට බුද්ධාගම පැමිණීමට පෙර සිට ම දේව සංකල්පය ප්‍රචලිතව තිබිණි.

දෙවියන්ගේ ඉතිහාස කතා හා අණ තෙද ක්‍රියාවන් අනුව පමණක් නොව තවත් කිහිප ආකාරයකට දෙවියන් වර්ග කර දක්වති.

   ඉන්දියානු හින්දුවරුන්ට අනුව             ‐      විෂ්ණු, පත්තිනි, ගනේෂ ආදි දෙවිවරුන්
   මල්ල දේෂයේ සිට පැමිණි                  ‐    කම්බිලි, අයියනා ,කඩවර, කළු දේවතා          ආදි පස් කට්ටුවේ
                                                                  දෙවිවරුන්                    
   ස්වදේශික දෙවියන්                           ‐     සුමන සමන්,බොක්සල්,විභීෂණ දෙවිවරුන්
   ජීවත්ව සිටියදී යහපත් ක්‍රියාවලීන් දේවත්වය පත්     ‐ මින්නේරි, යාපා බණ්ඩාර, කිතගම බණ්ඩාර දෙවිවරුන්
    ප්‍රදේශාධිපති දෙවිවරුන්                  ‐ කුරුණෑගල ගලේබණ්ඩාර, මොරටු හා රන්වල 

                                                   දෙවියෝ,සබරගමුවට    ශ්‍රී සුමන සමන් දෙවියන්,රුහුණු රටට ස්කන්ධ දෙවි

මෙකී වූ දේව කොට්ඨාසයන් අතරින් බණ්ඩාර දෙවියන් පිළිබද විමසීම මෙයින් අපේක්ෂිතය.
බණ්ඩාර දේව සංකල්පය වනාහි උඩරට ප්‍රදේශවල මලගියවුන් පිළිබඳ වූ ඇදහිල්ලක් ලෙසත්,‘බණ්ඩාර හත් කට්ටුව’ ලෙස කොහොඹායක් කංකාරිය හා වලියක් මංගල්‍යය වැනි ශාන්ති කර්මවලදී’ත්, කඩවර කංකාරිය, කිරි ඉතුරුම් මංගල්‍යය වැනි ශාන්ති කර්ම වලදී  ‘හත් කට්ටුවේ දෙවිවරුන්’ ලෙස ද භාවිතා වන සංකල්පයක් ලෙස හඳුනා ගත හැක.

බණ්ඩාර නමින් හැඳින්වෙන දෙවියන් කොහොඹා දෙවි තුන් කට්ටුවට වඩා විශේෂ තැනක් ගන්නා බව පෙනේ බණ්ඩාර දෙවිවරුන් අතර ප්‍රමුඛයා ‘ඉරුගල් බණ්ඩාර’ ය.බණ්ඩාර යන පදය මලයාවේ රජුට දෙවන පාලකයා හඳුන්වන ‘පණඩාර’ හෝ ‘පෙන්දනාර’ යන්නෙන් මෙරටට ලැබුණු බවට සෙනරත් පරණවිතාන මහතා මතයක් පළ කොට ඇත.

තවත් ආකාරයකට හ්‍යු නෙවිල් විද්වතානන් තම  ඕචරදඉ්බස්බ නම් කෘතියේ සඳහන් කරන
ලද්දේ, බණ්ඩාර වංශය කුවේණියගේ පුත් ජීවහත්තගෙන් පැවත එන රාජ්‍ය වංශයක් යන්නයි.
එසේම ලංකාවේ වැදි ගෝත්‍රිකයන් උසස් ම පෙළපත ද ‘බණ්ඩාර’ වර්යයි-
ආර්ය වංශය හා සූර්ය වංශය එක් වී ලංකාවේ ‘බණ්ඩාරවලිය’ ඇති වූ බව මන්දාරම්පුර පුවත මෙසේ දක්වයි.
    
       ආර්ය බමුණු ගනපති කුල             මහසාර
       සූර්ය වංශ රජ කුළ මුසුවිය               එවර
       සූරිය දෙවිඳු ලෙස තෙද බලැති     නොඳුවිතර
       බෝවිය බණ්ඩාරවලි ලක තුල            එවර

තවත් ආකාරයකට බණ්ඩාර දෙවිවරු ලංකාවේ සත් දෙවිවරු ගණයට අයත් වේ. මියගිය ඥාතින් යක්ෂ තත්ත්වයෙහිලා සැලකීම වැද්දන්ගේ සිරිතකි. වැදි ජනයා සිය මළගිය ඥාතීන්ට දක්වන ආකල්පයට සමාන ආකල්පයක් උඩරට ප්‍රදේශයේ ජනතාව බණ්ඩාර දෙවිවරු පිළිබඳ දරයි.

බණ්ඩාර දෙවි ගණයට අයත් දෙවිවරුන්ගේ ප්‍රභවය විමසීමේදි ;

කෝට්ටේ යුගයේ ලංකාවට මලල කුමාරවරු පිරිසක් සංක්‍රමණය වූ බව කියවේ. ඔවුන් 5 වන බුවනකබාහු රජ සමයේ හලාවත වෙලපරක්කුව හෙවත් පොන්පරිප්පුව නම් ස්ථානයෙන් මෙරටට ගොඩබට බව කියවේ. පසුව 6 වෙනි පරාක්‍රමබාහු රජ සමයේ්‍ර ඔවුන් අතරින් ඇතුන් මෙල්ල කිර’මට කිහිප දෙනෙකු දක්ෂ වූ බැවින් ඔවුන්ට ‘බණ්ඩාර’ නාමය පටබැඳි බවත් සඳහන් වේ.

බණ්ඩාරවලිය පිළිබඳ විමසීමේදි;

 ක්‍රිස්තු පූර්ව 14 වන සියවසෙන් පසු ලංකාවේ බණ්ඩාරවලියේ සිදු වූවා දැයි පැවසේ.එනම්      මැලේ අර්ධද්වීපයෙන් මෙරටට සංක්‍රමණය වූ මොවුහු රටේ පාලන පංතිය සමඟ එෛන්ද්‍රීය සබඳතා පැවැත්වූ අතර මොවුන් මිය යෑමෙන් පසු ජනතාව ඔවුන්ට දේවත්වයෙන් සලකා වැදුම් පිදුම් කරන්නට පටන් ගැනුනු බව පැවසේ.

 එමෙන් ම උඩරට නර්තන සම්ප්‍රධායේ කෝෂ්ටාගාරය ලෙස සැලකෙන කොහොඹා කංකාරිය හා සම්බන්ධ බණ්ඩාර දෙවියන් හැදින්වීමේදි යම් විටක බණ්ඩාර හත් කට්ටුව සහ බණ්ඩාර හැට හත් කට්ටුව ලෙස වර්ග කෙරේ.ඒ අනුව හත් කට්ටුවේ දෙවිවරුන් වූ කලී වයඹ පළාතට පමණක් සීමා වූ එම ප්‍රදේශයේ ජනතාව අතර බහුමානයට පත්ව ඇති දෙවිවරු සත් දෙනකි.එහෙත් මෙම බණ්ඩාර දේව සංකල්පය තුළ එන දෙවිවරු පිළිබඳ නිශ්චිත ම වූ අදහසක් පළ කරන්නෙකු සොයා ගත නොහැක.බණ්ඩාර දෙවිවරු පිළිබඳ එක් එක් අවස්ථාවන්හි විවිධ අදහස් පළ කර ඇත.එසේ නම් කරන ලද එක් ආකාරයක් මෙසේය

වීරමුණ්ඩ, කිතගම, උඩුවේරිය, යාපා බණ්ඩාර, කළු කුමාර, කුමාර බණ්ඩාර, දේවතා කඩවර

වීරමුණ්ඩ දෙවි කිතගම උඩුවේරිය දෙවි           උදාර
යාපා බණ්ඩාර සමඟ මැනික් හාමි කළු          කුමාර
කුමාර බණ්ඩාර සමඟ පෙරමුණ දේවතා         කඩවර
නෑර කෝල්මුර දක්වමි හත් කට්ටුව ගෙන්          අවසර

වීරමුණ්ඩ දෙවි
රම්රද විමන බෝ අත්තෙන් වැසී    ගියා
පව්කළ උළු සෙවිලි වහලය දිරා     ගියා
අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩියා
සුන්කර හරිව් තෙදබල        වීරමුණ්ඩයා

උඩුගම්පොළින් මතුවුණු වීරමුණ්ඩ හැඳින්වෙන්නේ රජක කුලයට අයත් කෙනෙක් ලෙසයි.එහෙත් උඩරට ඇති සංකල්පයේ ඉතාම කුලවත් දෙවි කෙනෙකු ලෙස සැලකේ.එහි අදහන ‘දොළහ දෙවියන්ටත්’ වඩා කුලවත් නිසා අඩුක්කු පිදීමේදි වීරමුණ්ඩ දෙවීයන්ට මල් යහන් පිළියල කරන්නේ අනෙක් දෙවියන්ට වඩා උසස් අයුරෙනි. විශේෂයෙන් කොහොඹා කංකාරියේ එන ‘ගුරුගේ මාලාව’තුළ කළු කුමාර දෙවියන් සමඟ ම වීරමුණ්ඩ දෙවියන්ටත් පුද පූජා පවත්වයි.එබැවින් මේ වීරමුණ්ඩ සංකල්පය සකලකලාවල්ලභ රජු සමයේ කළු කුමාරයා සමඟ රාජධානියෙන් පැන ගොස් දිවි නසා ගත් කළු කුමාරයාගේ සමීපතමයා ඇසිරින් පමණක් ඇති වූවක් නොවන බව පැහැදිලිය.දැනට ලංකාවේ වීරමුණ්ඩ දේවාල දක්නට ඇත්තේ ඉතාම අල්ප වශයෙනි.වීරමුණ්ඩ දෙවියන් සෙබල දේවතා ලෙසද හඳුන්වයි.අසිපතක් අතකින් ගෙන රණකාමි විලාසයක් පෙන්නුම් කරමින් සිටියි.අතීතයේ කඳුරුගම වැව ඉදිකිරීමේදි මතු වු නොයෙකුත් බාදක හමුවේ වීරමුණ්ඩ දෙවියන්ගේ දෙවොල සමීපයේ නිතිපතා එක් පහනක් දැල්වීමෙන් ඒ සියලු බාදක දුරුවූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.


කිතගම දෙවියන්

සිත් පෙන් වඩමින් අල්ලා එක ඇතු දැකුන් තියා ලොව      රැක්කා
ඇති පුද ලැබු සැටි බලන්ඩ ලෝකෙට රත්තරනෙන් තෙද    රැක්කා
ගල නිල් පට ඇඳ ඉන වට කරගෙන තෙද පාමින් ලොව     රැක්කා
කිතගම හිටි බණ්ඩාර මෙන්න ඔබට බැහැ                 දැක්කා

කිතගම බණ්ඩාර දෙවියන් ද මිනිසුන් අතර යහපත් සංකල්පයක් ඇති කිරීමට සමත් වී තිබූ බව ගම්‍ය වේ.

උඩුවේරිය බණ්ඩාර

පතුරුවමින් යස තෙද බල පෙන්වා සෑසෙනෙ නරලොව      රැක්කා
මිතුරු වෙමින් එන පරන්ගියා හට වල් දිවියා ගොස්          දැක්කා
ඉතුරු නොකර ගුණ කියන්ඩ බැරිමට වරද ඇතත් අප        රැක්කා
කපුරුහාමි උඩුවේරිය බණ්ඩාර මෙන්න ඔබට බැහැ           දැක්කා

කළු දේවතා බණ්ඩාර

කළු දේවතා බණ්ඩාර ගැන ජන ප්‍රවාද කිහිපයක් පවති. බුද්ධ මංගල දිනය විදිහට හැඳින්වෙන බුදු බවට පත් වූ දිනයෙ දස බිම්බරක් සේනාව පිරිවරා ගෙන මාරයා පැමිණි අවස්ථාවේ එයට නොබියව ඉදිරිපත් වූයේ උපුල්වන් දෙවියන්ය. එහෙයින් උපුල්වන් දෙවියන් කළු දේවතා බණ්ඩාර දෙවියන් යැයි සැලකේ.අනුරාධපුර ශ්‍රී මහා බෝධි මළුවේ බටහිර වාහල්කඩ කළු දේවතා බණ්ඩාර දෙවියන්ගේ දේවාලයයි. මේ දෙවියන්ට භාෂා 18 කින් කතා කිරීමේ හැකියාව ඇති බවට විශ්වාස කෙරේ.

එසේම කෝල්මුර ගායනාවල සඳහන් වන අන්දමට කළු දේවතා බණ්ඩාර දෙවියන් මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පහළ වූවා යැයි සැලකේ.මොහුගේ රාජකාරිය වන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුරැකීමයි.

මැණික් බණ්ඩාර දෙවියන් 

ඌව බණ්ඩාර හත් කට්ටුවේ සත් වැන්නා ලෙස මැණික් බණ්ඩාර දෙවියන් හැඳින්විය හැකිය.මැණික් බණ්ඩාර කුමරුන් මරණිනින් පසු මැණික් බණ්ඩාර දෙවියන් ලෙස උත්පත්තියට පත්ව වීදාගම ගලේ වැඩ වාසය කරන බව ජන විශ්වාසයේ පවති.මැණික් ඔබ්බන ලද මැණික් පුටුවක හිඳ මැණික්වලින් සැකසුන වේවැලක් අතැතිව එහි වැඩ වාසය කරන බව පැවසේ.මැණික් බණ්ඩාර දෙවියන් නුවර එළිය හග්ගල ප්‍රදේශයේ අණසක පතුරවමින් සිටි බවද කියවේ.
         
            මැණික් බැඳපු පුටුවේ වැඩ       ඉන්නේ
            මැණික් බැඳපු ජය වේවැල       ගන්නේ
            මැණික් රජාගේ පිහිට           ලබන්නේ
            තෙදැති මැණික් බණ්ඩාර      වඩින්නේ

දොළහ දෙවියන් යනුවෙන් ප්‍රචලිත දෙවිවරුන් දොළොස් දෙනා අතර මැණික් බණ්ඩාර දෙවියන්ගේ නම මුලට යෙදේ. ඌවේ වංශ කතාවේ සඳහන් වන ආකාරයට ඌවේ බණ්ඩාර දෙවි හත්කට්ටුවේ සත්වැන්නා ලෙස මැණික් බණ්ඩාර දෙවියන්ගේ නම ඇතුලත්ය.:2 රූපය*

පිටියේ බණ්ඩාර දෙවියන්         

මධ්‍යම පළාතේ මහ නුවර දිස්ත්‍රික්කයේ දුම්බර අඩවියට අධිපති බණ්ඩාර දෙවියන් වන්නේ ‘පිටියේ බණ්ඩාර’ දෙවියන්ය.පිටියේ දෙවිඳු වී ගොවිතැන හා ගව පාලනයට අධිපති දෙවියෙකි.ගවයන්ගේ ආරක්ෂාව,ගව පට්ටි වැඩි දියුණු වීම,ගවයන් සොරකම් කිරීම වැනි අවස්ථාවල පිටියේ බණ්ඩාර දෙවිගේ ඇල්ම බැල්ම දැඩි ලෙස සිදු විය.මෑතකදි ලියවුණු ‘කළුහාමි’ කාව්‍ය ග්‍රන්ථයේ පිටියේ බණ්ඩාර දෙවියන්ගේ තේජස මෙසේ කියවේ.
කුළුදුල් වැඳු දෙනක කිරි තෙල් ගී රසය - පිටියේ දෙවියන්ට කල යුතු ආමිසය
ගව පරපුරට වැඩි වී යයි ආයුෂය       - ඒ සමඟම ගලාගෙන එයි පස්ගෝ රසය

   එමෙන් ම ගොවිතැන භාර දෙවියන් ලෙස කන්දේ බණ්ඩාර,කුමාර බණ්ඩාර,නාමල්      බණ්ඩාර,වීදිය බණ්ඩාර,ඌවේ බණ්ඩාර,පිච්ච කුසුම් බණ්ඩාර යනාදි ලෙස හත් කට්ටුවක් දෙවියන් පිළිබඳ සඳහන් වේ. හේනට ගොවිතැනට අධිගෘහිත දෙවියන් වන බණ්ඩාර දෙවියන් නමින් පූජාවන් පැවැත් වීමට අතීත මුතුන් මිත්තෝ කටයුතු කළහ .හේනක් ආරම්භ කළාට පසු සිය ගෙවත්තේ පිරිසිදු පරිසරයක පිහිටා ඇති රඹ තුරක්(කෙසෙල් ගසක්)තෝරාගෙන එහි බණ්ඩාර දෙවියන් නමින් පඬුරක් ගැට ගසා සිය හේනේ,කෙතේ අස්වැන්න සරු වේවායි ප්‍රාර්ථනා කිරීමට ගොවියෝ කටයුතු කළහ.
   
      පොල් මල් පිපුණේ පතුවල රුවටා
      මල් යහනාවේ සැතපෙන කලටා
      සවරම් බුන්දිය අරගෙන අතටා
      ඉරුගල් බණ්ඩාර පිහිටයි අපටා

එපරිද්දෙන් හැකිතාක් ඉරුගල් බණ්බාර දෙවි ගුණ සඳහන් කවි කෝල්මුර ගායනා කන්දේ බණ්ඩාර ආදි සත් කට්ටුවක් බණ්ඩාර දෙවියන් නමින් ගුණ ගායනා කෙරේ.

මේ අනුව බලන කල යහපත් පුද්ගලයින් ජීවත් ව මිය පරලෙවෙ ගිය ප්‍රභූ බණ්ඩාරවරු හෝ විදේශකයින්  පැමිණ මෙම ප්‍රදේශවල බලය පතුරුවන ලද බණ්ඩාරවරු හය දෙනෙකුත් එනම්,
වීරමුණ්ඩ, කිතගම හිටි බණ්ඩාර, උඩුවේරිය කපුරු බණ්ඩාර, නිරාමුල්ලේ යාපා බණ්ඩාර, උඩුගම්පල මැණික්සාමි හා කුමාර බණ්ඩාරත් බොහෝ දෙනාගේ ගෞරවයට පත් වූ කඩවර යන සත් දෙනා හත් කට්ටුවේ  බණ්ඩාර දෙවියන් ලෙස හැඳින්විය හැකිය-


No comments:

Post a Comment