පාර දිගේ නොයෙකුත් කලාංගයන් සොයා යන මම අද කතා කරන්නේ තවත් අපූැරු කලාංගයක් පිළිබඳවයි. සිනමාව අද ද ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. කොතරම් නව මාධ්‍ය බිහි වී තිබුණ ද තවමත් සිනමා ශාලාවට ගොස් සිනමාව රසවිදින රසිකයන් බොහෝ ඉන්නවා. ඒ කලාලෝලීන් වෙනුවෙන් අද කතා කරන්නේ කුඩා දරුවන් අතර මේ දිනවල ජනප්‍රිය වුණු සිනමා පටයක් වන අලි කතාව පිළිබඳවයි. කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණ ද මෙය ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වුණු සිනමා පටයක් බවට පත් වෙලා තියෙනවා.
සිනමා පටයේ අධ්‍යයක්ෂණය මහාචාර්ය සුනිල් ආරියරතත්න මහතාය. නිෂ්පාදනය ගුණපාල රත්නසේකර මහතාය.
අලි පැටවෙකු සහ කුඩා දරුවෙකු වටා ගෙතෙන මේ අපූරු කතාව පරිසරය ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන් එක හරි අපූරුවට නිරූපණය කරනවා. කතාව කෙටියෙන් කියනනවා නම්,
එකමත් එක කාලකෙ අපේ රටේ එකමත් එක රජ කෙනෙක් රාජ්‍ය කලා. රටවැසියන් සතුටින් ජීවත් වුවත් රජුත් බිසවත් නිතර සිටියේ ශෝකයෙන්, ඊට හේතුව ඔවුන්ට දරුවන් නැති වීමයි. අනාගතයෙහි රාජ්‍ය පැවරීමට ඔටුන්න හිමි කුමාරයෙකු නැති වීම.
මේ අතර රට වැසියෝ රජුගේ සහ බිසවගේ පස් වැනි විවාහ සංවත්සරය මහ ඉහලින් සමරන්ට සූදානම් වුණා. නැටුම් ගැයුම්වලට ප්‍රසිද්ධියට පත්ව සිටි කින්නර කුරුවේ නැටුම් කණ්ඩායම ගෙන්වීටත් කටයුතු සම්පාදනය කර තිබුණා. මෙම නැටුම් කණ්ඩායම මහ වනය මැදින් යද්දී ඔවුන්ගේ නඬේ ගුරා බීමත් ව විප්‍රකාර කරන්ට වීම නිසා කුපිත වූ වන අලි ඔවුන්ට පහර දුන්නා. සියල්ලෝ හිස් ලූ ලූ අත දුවන්ට වුණා. කූඩයක බහා සිටි සිය දරුවා සියතට ගන්න ගිය මවක් ද දිව යන පිරිසට මැදි ව ක්ලාන්ත ව අද වැටුණා.
ප්‍රහාරය සඳහා පැමිණි වන අලි යලි වනය තුලට යන අතර කූඩයේ හුන් දරුවා හඩන්නට වුණා. ඇත් පෙලේ හුන් ගැබ්බර ඇතින්නියකට ඒ ලදරුවා කෙරෙහි සෙනෙහසක් හට ගත්තා. ඇතින්න දරුවා සහිත කූඩය පිට මත තබාගෙන වනයට ඇදුණා.
ඒ වන පෙදෙසේ තවුසෙක් සහ වැදි පවුලක් ද වාසය කලා. තවුසාගේ ආශිර්වාදය මැද වනයට ගෙන ආ ලදරුවා වැඩෙද්දී ගැබ්බර ඇතින්නට ද පැටවෙක් ලැබුණා. එතැන් පටන් අලි පැටියාත් කොලු පැටියාත් යාළුවන් වුණා.
තවුසා අලි පැටියාට රාජු කියාත්, කොලු පැටියාට භාණු කියාත් නම තැබුවා. මේ අතර දරුවෙක් නැති කනස්සල්ලෙන් පෙලෙන බිසව රාජ මාලිගය හැර යන්ට සූදානම් වුණා. එවිට හදාවඩා ගැනීම සඳහා දරුවෙකු සොයා ගැනීම හෝ උත්සාහ කල යුතු බවට ඇමතිවරු උපදෙස් දුන්නා. දරුවෙකු ලබා ගැනීමේ අවසාන උත්සාහය විදියට කාන්තාවන්ට දරුඵල ලබා දෙන අලිමංදාව කෝවිලට ගොස් බාරයක් වීමට රජ බිසව තීරණය කලා. දාසියන් සමඟ වන මැද පිහිටි කෝවිලට ගිය බිසවට අලි පැටවා සමඟ ගංගාවක දිය නාමින් සිටින භානු ගැන දාරක ස්නේහහයක් හට ගත්තා. එහෙත් ක්ෂණයකින් ඔවුන් වනය මැද අතුරුදහන් වුණා.
බිසව පෙරලා ඇවිත් භානුව සොයා දෙන ලෙස ඉල්ලා මාලිගාවව දෙවනත් කලා. රජතුමා භානු සොයා ගැනීමට උදව් ඉල්ලා සිටියේ වැදි පිරිසගෙන්. වැදි පිරිස සහ රාජ පුරුෂයෙන්ගේ කුමන්ත්‍රණය ඇස ගැටෙන තවුසා ඔවුන්ගෙන් කොලු පැටියාත් අලි පැටියාත් ගලවා ගැනීමට උත්සාහයක යෙදුණා. ඒත් භානු වැද්දන්ගේ දැලට අසු වුණා. භානු රාජුගෙන් වෙන් වුණා. භානුටත් රාජුටත් වැද්දන් කල විනාශය ගැන වන අලි කුපිත වුණා.
මේ වගේ හරි අපූරුවට ගලා යන අලි කතාව අවසන් වනනේ කැලෑ සතා හෙවත් භානු නම් දරුවා රජ මැදුරට ගෙන ගොස්ය.
රවීන්ද්‍ර රන්දෙනිය
රොඞ්නි වර්ණකුලසූරිය
දුලීකා මාරපන
ධනංජය සිරිවර්ධන
තාරුකා වන්නි ආරච්චි
ගිරිරාජ් කෞෂල්‍ය
කුමාර තිරිමාදුර
සරත් කොතලාවල
විල්සන් ගුණරත්න
දීපානි සිල්වා යන අති දක්ෂ රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් මෙම සිනමා පටය පන ලබා ගෙන තියෙනවා.
ළමා චරිත සඳහා රංගනය
යෙහානි හන්සිකා
කෞෂල්‍ය ප්‍රනාන්දු යන කුඩා දරුවන් දෙදෙනා නිරූපණය කරනවා.
මීට අමතරව රාජු නම් පුංචි අලි පැටවෙක් ද මෙහි රංගනය සඳහා එක් වී තිබෙනවා.
දරු ස්නේහයෙන් පිරි බිසව දරුවා ගෙනවිත් රජ මාළිගය තුළ රදවා තබා ගැනීමට උත්සාහ කළද දරුවා කැමති වූයේ තමන් කුඩා කළ සිට හැදුණු වැඩුණු පරිසරයේ ජීවත් වීමටය. මෙහිදී අලියා නම් වූ සතා පිළිබඳ බොහෝ කතා ගෙන එයි. රජු මාළිගයේ පවා අලින්ගේ පිළිම නෙලා තිබේ. ඔහු බිසවට කියා සිටියේ තමාට බුදු දහම කියා දුන් භික්ෂූන් වහන්සේලා හස්තීන් වර්ග 4ක් පිළිබඳ කියා දුන් බවයි.
මෙවැනි සුන්දර කතාංගයන් මනාවට ගොනු කිරීමට සමත් වී තිබෙනවා.කුඩා දරුවන්ට බොහෝ කාලෙකින් රස විදිය හැකි අපූරු නිර්මාණයකි.
කලාවට හිතැති කලාකරුවන්ට භරත නාට්‍යයම්
පාර දිගේ යන ගමනේ අද අපි කතා කරන්නේ කලාවට හිතැති කෙනෙකුගේ නෙතට ප්‍රිය වුණු තවත් අපූරු කලාංගයක් ගැනය.
නර්තන ශිල්පියා වනාහී දේශීය මෙන්ම විදේශීය කලාංගයන් ද ප්‍රිය කරන්නෙකි. ඒ නිසාම විදේශීය නර්තනාංගයන් ගැන දැන සිටීම ඉතා වැදගත්ය. උඩරට, පහතරට හා සබරගමු ලෙස දේශීය නර්තනය වර්ග වන විට විදේශීය නර්තනයටද එකී වර්ගීකරණය බලපාන්නේය.
කථක්, කතකලි, මනිපුරි වැනි නර්තනාංග අතර භාරතීය නර්තන සම්ප්‍රධායක් වන භරත නාට්‍යයම් ඉතා වැදගත්ය. දක්ෂිණ භාරතයේ නිරිතදිග ප්‍රදේශය වශයෙන් හැඳින්වෙන තාන්ජෝරය කේන්ද්‍ර කරගෙන භරත නාට්‍යයම් උපත ලබනවා. භරත නාට්‍යයම් තාන්ජෝරයට පැමිණ ඇත්තේ ආන්ද්‍රා දේශයෙනි. මෙහි මූලාරම්භය තරමක් වෙනස් ලක්ෂණ සහිතව ව්‍යාප්ත වන්නට ඇත. එනම් මුල් කාලයේ දී දේවාලවල දේවදාසීන් විසින් මෙම නැටුම් ඉදිරිපත් කර තිබේ. ඒ නිසාම මෙම නර්තනාංග දාසි ආට්ටම් ලෙස හඳුන්වලා තියෙනවා. පසු කාලීනව පණ්දනලූර් පෙළපතේ මීනාක්ෂි සුන්දර පිල්ලේ විසින් මෙයට භරත නාට්‍යයම් යන නාමය එක්කර තිබේ. මෙය ස්ත්‍රීන් වෙනුවෙන්ම වෙන් වුණු නර්තනාංගයක් වීම විශේෂත්වයකි.
භරත නාට්‍යයම් විශේෂයෙන් දේවස්ථානයට අයිති නාට්‍ය ක්‍රමයක් වන බැවින් ඒ නාට්‍ය ක්‍රමයෙන් ප්‍රකාශ වන්නේ රාමායනය, මහාභාරතය යන මහා කාව්‍යයන්ගේ දක්නට ලැබෙන කතා ප්‍රවෘත්ති හා ඒ වීරකාව්‍යයන්ගේ නිරූපිත චරිතයන් හා සිදුවීම්ය.
භරත නාට්‍යයම් පිළිබඳ කතා කිරීමේ දී එය කොටස් වශයෙන් බෙදා ගැනීම වැදගත් වන්නේය.
නෘත
නෘත්‍ය
නාට්‍ය
එම කොටස් ලෙස වර්ග කර දැකිවිය හැකිය.
ඕනෑම කලාවක් ජනප්‍රිය තලයට නොඒසේනම් එය විශ්වීය තලයට ගෙන ඒමට නම් ඒ හා සම්බන්ධ විශිෂ්ට නිර්මාණකරුවන් බිහි විය යුතුය. භරත නාට්‍යයම් කලාවටත් එලෙස පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ කලාකරුවන් පිරිසක් ඉන්නවා.
ඒ අතර චින්නයියා, පොන්නයියා, ශිවනාදන් හා වඩිවේ`ඵ යන සිව් දෙනා ප්‍රධාන කොට සලකනවා. මොවුන් තාන්ජෝරයේ පන්දනලූර් පෙලපතේ දක්ෂතම ගුරුවරුන් ලෙස ද සැලකෙනවා. පසු කාලීනව මෙම නර්තනාංගය පෝෂණය කරමින් දක්ෂ නර්තන ශිල්පීන් මෙන්ම එය ඉදිරියට ගෙන යාමට දක්ෂ ගුරුවරුන් ද බිහි වුණා. බාල සරස්වති, ශ්‍රී මීනාක්ෂි සුන්දර පිල්ලේ, අමලා දේවි වැනි අය ඒ අතර වෙනවා.
භරත නාට්‍යම් උගන්වන ගුරුවරයාට විශේෂිත නාමයක් භාවිතා කරනවා.
ඒ වගේම නර්තන සම්ප්‍රධාය ,වාද්‍ය භාණ්ඩ මෙන්ම සංගීතයේ ද යම් යම් විවිධතා දැකිය හැකිය.මේ සඳහා යොදාගනු ලබන්නේ දකුණු ඉන්දියානු සුප්‍රකට සංගීත සම්ප්‍රධායක් වන කර්ණාට සම්ප්‍රධායයි. භරත නාට්‍යයම් සඳහා මෘදංගය, වීණා, බටනලා, තාලම්පට හා තාන්ජුරා ආදි වාද්‍ය භාණ්ඩයන්ගේ සහය ද ලබා ගන්නවා. මෙහි විශේෂත්වයක් වන්නේ තාලම්පට වාදනය කරනු ලබන්නේ නට්ටුවනාර් නොහොත් ගුරුවරයා විසින් වීමයි. මෙහි ගායනා කරනු ලබන ගීත තෙළිගු හා සංස්කෘත භාෂාවෙන් ප්‍රබන්ධ වී තිබේ. ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස යොදා ගනු ලබන්නේ මෘදංගයයි.
භරත නර්තන ශිල්පිනියක් සැබවින්ම අලංකාර රංග වස්ත්‍රාභරණයෙන් සැරසීමට අමතක නොකරයි. හිසට, නාසයට, කනට වෙන වෙනම ආභරණ පළදින ශිල්පිනිය උඩරට ,පහතරට ආදි දේශිය නර්තන ශිල්පිනියකගේ බාහිර පෙනුමට තරමක් වෙනස්ය.
හිසට පලදින ආභරණ ලෙස,
රාකඩි මාලෙයි
උච්චි පටිටම්
නේත්‍රා පට්ටම්
සූරිය පිරෙයි
චන්ද්‍ර පිරෙයි
නාසයට,
මුක්කුත්ති
බිලාක්ක
කනට,
තෝඩු
ජිමිකි
මාට්ටල්
ගෙලට,
අට්ටයල්
මාංග මාලෙයි
කාසි මාලෙයි
පදක්කම්
උරභාහුවට - වංගි
ඉනට - ඕට්ටියානම්
කකුලට - සලංගෙයි
කොණ්ඩයේ අග පළදනාව - කුංජම්
භරත නාට්‍යයම්වල දී රංග වස්ත්‍රාභරණවලට විශේෂ තැනක් හිමිවෙයි. වේෂ නිරූපනය හැදින්වෙන්නේ උප්පනයි නමිනි. භරත නාට්‍යයම් නර්තනය අංග 7ක එකතුවක් ලෙස සලකනවා.
අලාරිප්පු
ජතිස්වරම්
ශබ්දම්
වර්ණම්
පදම්
තිල්ලානා
ශ්ලෝකම්
ගායනය, වාදනය හා නර්තනය මනා ලෙස සුසංයෝග වූවක් ලෙස භරත නාට්‍යයම් භාරත දේශයේ ප්‍රසිද්ධියක් උසුලයි.
උඩරට නර්තන සම්ප්‍රධායේ මුදුන් මල්කඩ
උඩරට නර්තන සම්ප්‍රධායේ මුදුන් මල්කඩ ලෙස පිදුම් ලබන කොහොඹා කංකාරි ශාන්තිකර්මයේ වගතුග සොයා අද අපි යනවා.
කොහොඹා කංකාරිය ගැන ගෙතිච්ච පුරා කතා කිහිපයක් තියෙනවා. ඒ අතරින් පඬුවස් දෙවි රජුගේ කතාව ප්‍රධාන වෙනවා. හත් සීයක් පිරිවර සමඟ විජය රජතුමා ලංකාවට ගොඩ බසින කොට කුවේණිය කපු කටිමිනුයි සිටියේ. කෙසේ හෝ තම වසගයට කුවේණිය නතු කර ගැනීමට විජය රජු සමත්කම් දැක්වූවා. මේ දෙදෙනාගේ විවාහයේ ප්‍රථිපලයක් ලෙස ජීව හත්ත හා දිසාල නමින් දරුවන් දෙදෙනෙකු ඉපදුණා. ටික කලක් මෙහෙම ජීවත් වෙන කොට විජය රජතුමා තම වංශයේ කුමරියක් මදුරාපුරයෙන් ගෙන්වා ගෙන සරණ පාවා ගත්තා. කුවේණිය දරු දෙදෙනාත් සමඟ පිටුවහල් කරන්නට තරම් විජය රජු දුෂ්ඨ වුණා. විජය රජු කෙරෙහි කෝපයට පත් තුවේණිය දිවි වේෂයකින් පැමිණ විජය රජු මැරීමට උත්සාහ කළා. තමා පන්වා දැමීමේ තරහින් කුවේණිය විජය රජුට ශාප කළා. විජය රජුගෙන් පසුව රජ පැමිණි පඬුවස් දෙව් රජුට කුවේණියගේ ශාපය බලපෑවා. සිහිනයෙන් දිවි දෝෂයක් දැක බිය පත්වූ පඬුවස් දෙව් රජ බලවත් සේ රෝගාතුර වුණා. කොහොඹා යක් කංකාරිය නමින් සිදු කළ ශාන්තිකර්මයෙන් පසු එම දෝෂය සුව වූ බව සදහන් වෙනවා.
අනුරාධපුරයේ මහමෙවුනා උයනේ හදපු රංග භූමියක මේ යාතු කර්මය සිදු කළා. ඔන්න ඔය විදිහට තමයි කොහොඹා කංකාරිය මුලින්ම ආරම්භ වෙන්නේ.
කංකාරිය කරන්න කලින් හොද පොල් ගහක් වෙන් කර ගන්න වෙනවා. මේ පොල් ගහ වටේ ගොක්කොළවලින් සරසලා කංකාරිය කරවන්න ඇප වෙන් කිරීමක් කරනවා. කංකාරියට අවශ්‍ය පොල්, පොල්තෙල් එහෙම යොදා ගන්නේ මේ පොල් ගහෙන් තමයි. කංකාරියට මාස තුනකට කලින් කප සිටුවීම සිදු කරනවා. ප්‍රධාන යක්දෙස්සා ඒ කියන්නේ කංකාරිය කරවන ප්‍රධාන ශිල්පියා සුභ නැකතට කප සිටුවීම සිදු කරනවා. මේ කපට ගන්නේ ඵල රහිත කොස් ගසක්. කංකාරි භූමියේ පැත්තකට වෙන්න බිම අටමගල ඇදලා සරසලා සුභ නැකතට කප සිටුවීමේ චාරිත්‍රය ඉෂ්ට කරනවා.
දැන් කංකාරි මඩුව සකස් කරන්න ඕනේ. දිගින් 60 රියනක් හා පළලින් 30 රියනක් ලෙස එම මඩුව සකස් කරනවා. ඊට පස්සේ ගොක් කොළ, පොල්, නවිසි, බෝවිලි, තල් වගේ දේවල්වලින් මඩුව සරසනවා. මේ මඩුවේ එක පැත්තකින් කොටස් තුනකින් වෙන්වෙලා තියෙන මල් යහනාවක් හදනවා. මේ මල් යහනට කියන්නේ යක්සාය කියලා. යක්සායත් ගොක්වලවලින් සරසා ගන්නවා. ඊට පස්සේ ඒ යක්සාය දෙපැත්තේ කෙසෙල් කැන් එක් කොට තියෙන කෙසෙල් ගස් දෙකක් හිටවා ගන්නවා. කංකාරියට අවශ්‍ය දේවාභරණ දේව රූප තැන්පත් කරලා මල් පහන් පූජා කරන්නේ මේ යක්සායේ වෙන් කරලා තියෙන යහන්වලදි. මේ යක්සායට ඉස්සරහින් මඩුවේ අනිත් කෙළවරේ අයිලය හදනවා. එම ස්ථානයේ කෙහෙල් මුව තියෙන කෙසෙල් ගස් නවයක් හිටවන්න ඕන. කොහොඹා කංකාරි ශාන්ති කර්මය කිරීමේදි චාරිත්‍ර විධි කිහිපයක් අනුගමනය කරනවා. පංච තූර්ය නාද කරමින් දේවාලයක සිට කංකාරි මඩුවට දේවාභරණ වැඩම වීම ,දේවාභරණ අයිලයට වැඩම වීම කියලා හදුන්වනවා. දෙවියන් සංකේතවත් කරන්න තමයි එහෙම දේවාභරණ වැඩමා ගෙන එන්නේ. ඒ දේවාභරණ මල් යහනක තැන්පත් කරලා සුවද දුම් අල්ලලා පහන් පත්තු කරලා කෝල්මුර කවි ගායනා කරනවා.
මල් යහනාව ළඟ අටමඟල ඇදලා එතන ආතුරයා වාඩි කරවලා පූජා භාණ්ඩ තැන්පත් කොට කවි කියමින් ආතුරයාට සෙත් ශාන්ති කරනවා.
කොහොඹා කංකාරියේ වාදන අවස්ථාවන් අතර ප්‍රධාන තැනක් ගන්නා අංගයක් ලෙස මගුල් බෙර වාදනය සලකන්න පුළුවන්. ශාන්ති කර්මය සඳහා භාවිතා කරන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන්නේ ගැට බෙරයයි. බෙරයට දුම් අල්ලා තෙරුවන් ගුණ සිහි කරලා තෙරුවන් කෙරෙහි කරන පූජාවක් විදිහට මගුල් බෙර වාදනය සලකනවා. මේ සදහා කංකාරියට සහභාගි වන සියලුම වාදකයින් එක් වෙනවා.
මගුල් බෙර වාදනයෙන් පසුව එක් එක් බෙර වාදකයින්ට තම දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් උදා වෙනවා. එම බෙර වාදනය යහන් බෙර වැයීම කියලා හදුන්වනවා. මෙය ශාන්තිකර්මයේ ප්‍රේක්ෂක අවධානය දිනා ගත් විශේෂ අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. මෙම බෙර වාදනයෙන් පසු නර්තන ශිල්පීන්ට රංග භූමිය වෙන් කරනු ලබනවා. වෙස් ඇදුම් කට්ටලයෙන් සැරසුණු වෙස් නර්තන ශිල්පීන් උඩුවියන් යටින් කංකාරි මඩුවට කැදවා ගෙන එනු ලබනවා.
නර්තන ශිල්පීන් ඉදිරිපත් කරන ප්‍රධාන නර්තනාංගයක් ලෙස යක් ඇනුම සැලකෙනවා. දෙවියන් ඇතුලු සියලු දෙනාට මල් යහනට වඩින ලෙස ආරාධනා කරමින් කවි ගායනා කර බෙර වාදන මැද්දේ නර්තන ඉදිරිපත් කරනු ලබයි.
කවි, ගායනා නර්තනයට එක් කරන්නේ අපූරු චමත්කාරයක්. කුවේණි අස්න, සිහබා අස්න එහි චමත්කාරය එක් කරන නර්තනාංග ලෙස හැදින්විය හැකිය.
කුවේණි අස්න මෙම ශාන්ති කර්මයේ පුරා කතාව සිහි ගන්වයි. බෙර කරුවන්ට මෙන්ම නර්තන ශිල්පීන්ටද සිය දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් සැලසෙනවා. ඒ සඳහා මෙම අස්නේ නර්තනය උපයෝගි කර ගන්නවා. මෙය ගායනය සහිත අපූරු නර්තනාංගයක් ලෙස කංකාරියේදී කැපී පෙනෙයි.
යක්තුන් පදය නමින් හැදින්වෙන වාදකයන්ට වෙන් වුණු තවත් අංගයක් කංකාරියේ දක්නට ලැබෙයි.
මුටිටි පදය, දුම්මල පදය, මල් පදය, සළු පදය, පොල් පදය, බුලත් පදය, කොතල පදය යන හත් පදය නැටීම ද කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ දැකිය හැකි තවත් සුවිශේෂි අංගයකි. මීට අමතරව මලය රජතුමා ඌරට විදින්න ආපු සිදුවීම සිහි කරමින් දුනු මාලප්පුව නම් නර්තනාංගයද මෙහිදි ඉදිරිපත් කරනවා. කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ දැකිය හැකි දීර්ඝතම නර්තනාංගය නම් ආවැන්දුමයි. මෙයට විශේෂ වූ පද කොටස් එකතු වෙයි. අලංකාර නර්තනයක් වුණු මෙම නර්තනයෙන් මලය රජුගේ උයන පාළු කළ බව කියන ඌරාගේ ප්‍රමාණය හැඩරුව වාසය කරන දිශව ආදිය හස්ත මුද්‍රාවෙන් ඉදිරිපත් කරනවා.
ඉන් අනතුරුව ගබඩා කොල්ලය, ගෙට ගිනි තැැබීම, මුව මල විදීම, කොහොඹා හෑල්ල වැනි නර්තනාංග ඉදිරිපත් කෙරේ. දැන් කෙහොඹා කංකාරිය නිමා වීමට ආසන්නයි. අයිලය පිටුපසින් තියෙන කෙසෙල් ගහක කෙසෙල් මුවයට විදලා මුවය කඩා ගෙන ඊතලයෙන් කෙසෙල් මුවය පතුරු ගහලා අයිලය උඩින් විසි කරලා කංකාරිය අවසන් කරන නැටුම ඉදිරිපත් කරනවා. ප්‍රධාන යක්දෙස්සා මාර පදය හා ආලත්ති පදය කියන පද දෙකට අනුව හස්ත මුද්‍රාවෙන් කරන රංගනයක් ලෙස මාර පද නැටීම හදුන්වන්න පුළුවන්. එම නර්තනයෙන් පසුව කංකාරිය නිමා වූ බව තුන් පාරක් පවසා ප්‍රධාන බෙර කරුවාගේ ශාස්ත්‍රීය බෙර වාදනයෙන් කංකාරිය නිමා වෙනවා.
බවතරණයේ සමාජ බලපෑම
මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත බවතරණය නව කතාව සමාජයට කොතරම් බලපෑවේද යන්න , එහි යම් කොටස් වාරණයට හසු වීමෙන්ම පැහැදිලි වෙයි. වික්‍රමසිහයන්ගේ අවසාන නව කතාව වූ බවතරණය සමාජයේ ගිහි පැවිදි පඬුවන් අතර මහත් ආන්දෝලනයට පාත්‍ර වූවකි. ගතානුගතික විශ්වාසයන්ගෙන් බැහැරව නව මතයක් ඉදිරිපත් කිරීමේ කඩඉමක් වශයෙන් “බවතරණය” හැඳින්විය හැකිය.
බවතරණය මුල් මුද්‍රණයෙන් හාර මසයට පසු බෞද්ධ ලෝකයාගේ ගෞරවය දිනාගත් භික්ෂූන් එකතුව උද්ඝෙෘ්ෂණයක් දියත් කළහ. බවතරණය බුදුන් වහන්සේට කළ නිගාවක් යැයි පවසමින් ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන , ශ්‍රීමත් සිරිල් ද සොයිසා වැනි ගිහි බෞද්ධ නායකයෝද පරම විඥනාර්ථ බෞද්ධ සංගමය හා තරුණ බෞද්ධ සංගමය වැනි සංවිධානද මෙම උද්ඝෝෂණයට සහභාගි විය. එනමුදු සියලු බෞද්ධයෝ මෙම මතයට එකග නොවූහ. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර හා වෛද්‍ය ගුණදාාස අමරසේකර වැනි ප්‍රවීන සාහිත්‍යධරයන් එකසේ ප්‍රබලව තර්ක කලේ බුදුන් වහන්සේට නිගා දෙන කිසිදු සටහනක් එහි අන්තර්ගත වී නොමැති බවයි. කෙසේ වුවද බවතරණයට හා එහි කතුවරයාට එරෙහිව ගොඩ නැගුණ විරෝධය විසින් පොතට පක්ෂ වූ සියලු හඬ යටපත් කරනු ලැබීය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ සහභාගීත්වයෙන් 1974 මාර්තු මස රැස් වූ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ විධායක සමිතිය රජය විසින් බවතරණය තහනම් කළ යුතු බවටත් එසේ නොකළහොත් රජයට විරුද්ධව දිවයින පුරා උද්ඝෝෂණ සහ රැස්වීම් පවත්වන බවටත් තීරණය කළේය.
මේ අතරතුර අස්ගිරි මහා නාහිමියන් විසින් අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙත පවතින තත්ත්වය සැලකිරීමෙන් පසු සංස්කෘතික අමාත්‍යයංශය විසින් කරුණු සොයා බලා වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදි.
බවතරණයට එරෙහිව තවත් බොහෝ පාර්ශව එක්වෙද්දි 1974 වසර පුරා එහි උත්සන්න බවක් විද්‍යාමාන වෙයි. ඒ සමඟම රජයට විරුද්ධව දේශපාලන පක්ෂ පිරිස් රජය අපහසුතාවට පත් කිරීමේ දේශපාලන ක්‍රීඩාවකද නියැලුණහ. බවතරණය විරෝධි උද්ඝෝෂකයන්ගේ බලපෑමෙන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවතරණය තහනම් කරන ලෙස කැබිනට් මණ්ඩලයට සහ අගමැතිනියට බලපෑම් කරන්නට විය.
කතුවරයා බුදුනු චරිතයට නිගරු කළේ යැයි පවසමින් හදිසි රෙගුලාසි යටතේ ඔහු අත්තඩංගුවට ගෙන සිපිරි ලෙයි දමන මෙන් අගනුවර එක්සත් බෞද්ධ මණ්ඩලය ද රජයට බල කළේය. කොළඹ නගරසභා විවාදයකදී එක්සත් ජාතික පක්ෂ නගර සහිකයකු සඳහන් කළේ මාර්ටින් වික්‍රමසිංහ බුදුන් වහන්සේට එරෙහිව මෙසේ ලියා ඇත්තේ රුසියන් සවාරියේදී වොට්කා බීමෙන් පසුව විය හැකි බවයි. එතැනින් නොනැවතුන එම සහිකයා රුසියන් සංචාරයේදී අසූවිය පසුකළ කතුවර ජීවිත කතාවට තවත් පිටුවක් එක් කරමින් ඔහු බෞද්ධ භික්ෂුවක වී උපසම්පදා ලැබීමෙන් අනතුරුව ගිහි ජීවිතයට ආගමනය කළ බවත් පැවසීය. බවතරණය මේ රටේ බෞද්ධාගම විනාශ කිරීමේ මාක්ස්වාදි පාපිෂ්ඨ තැනක් බවට සමහරු පැවසීය. මේ සියල්ල පැවසෙද්දි මේ වියත් ප්‍රාඥයා බෞද්ධ දර්ශනයට අනුව උපේක්ෂා සහගතව මුනිවත රැක්කේය.
සිදුහත් සිරිත හා බුදු සිරිත විවරණය කරමින් ලියූ බව කීවත් බවතරණයෙන් බුද්ධ චරිතය විකෘති කර ඇති බවට බෞද්ධ භික්ෂූහු චෝදනා කළහ. බවතරණයට එරෙහිව හික්කඩුවේ ප්‍රඥාරාම නා හිමියෝ “බවතරණයේ මඟ” හා “බුද්ධ චරිතය” යනුවෙන් පොත් දෙකක් ලියා පළ කළහ. මාර්ටින් වික්‍රමසිංහයන් සිංහල නවකතාවේ ලකුණ ලෙස හැඳින්වූවත් ඔහුගේ කෘතිය විවේචනය කිරීමට පවා එකල භික්ෂූන් වහන්සේලා පසුබට නොවූ ආකාරය මනාව පැහැදිලිය. පසුකලෙක බවතරණයෙන් පන්නරය ලබා කේ.ජයතිලක ලියූ බුද්ධ චරිතය කෘතිය ද කර ඇත්තේ බුද්ධ චරිතය විකෘති කිරීමක් යැයි හෑගොඩ විපස්සී ස්වාමීන් වහන්සේ පවසන ලදි. එතුළින් පැහැදිලි වන්නේ මිනිසා හුරුව සිටි දෙයින් පිටත කිසිවක් භාර ගැනීමට අපොහොසත් බවයි.
බුදු දහම පිළිබඳ ලියූ විකෘති පොත්පත් හා රටේ සදාචාරයට නොගැලපෙන පොත්පත් ගිනි තබා විනාශ කළ යුතු බවට යෝජනාවක් හැටේ දශකයේ ගාල්ලේ පැවති සමුළුවකදී යෝජනා කර සම්මත කර ගනු ලැබීය. ගාල්ලේ ප්‍රඥාසාර පිරිවනේ පැවති එම සමුළුවේදී මෙම යෝජනාව සම්මත කර ගනු ලැබුවේ ගාල්ලේ විද්‍යාලෝක පරිවෙණාධිපති හෑගොඩ ඛේමානන්ද ,ගාල්ල කොටුව විහාරාධිපති ගෝනපිනුවල පුඤ්ඤාසාර හා උළුවිටකේ ජයසුමනාරාධිපති උළුවිටකේ සංඝරත්න යන නාහිමිවරුන්ගේ මූලිකත්වයෙනි.
මෙසේ බුදු දහම විකෘති කරමින් ලියන ලද පොත්පත් වාරණය කිරීමට උපදේශක මණ්ඩලයක් පාර්ලිමේන්තු පනතකින් සම්මත කළ යුතු බව පෑගොඩ විපස්සි සිවාමීන් වහන්සේ රජයට යෝජනාවක් ඉදිරිපත් කරන ලදුව තිබේ. ඒ පිළිබඳ බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රසෝම ගමගේ මහතා පවසන්නේ
“බුදු දහම පිළිබඳ ලියැවෙන පොත්පත් ප්‍රකාශයට පත් කිරීමට පෙර විද්වත් මණ්ඩලකට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරන බවයි. ”
නව නීතියට කැබිනට් මණ්ඩලයෛ් අනුමැතිය ලබා දී ඇති බව පවසන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා නව පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බව සඳහන් කළේය. නව පනත යටතේ බුදු දහම හා බුද්ධ චරිතය සම්බන්ධයෙන් ලියැවෙන පොත්පත් ප්‍රකාශයට පත් කිරීමට පෙර විද්වත් සම්මුතියට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු බවට සඳහන් වෙයි. මහා නා හිමිවරයෙක් ඇතුළු බුදු දහම පිළිබඳ හසල දැනුමක් ඇති පිරිසකගෙන් මෙම කමිටුව සමන්විත වනු ඇත. බවතරණයේ සමාජ බලපෑම කොතරම්ද කියතොත් බුදු දහම පිළිබඳ විවේචනයන්ට වාරණයන් පවා රජය විසින් තීරණය කිරීම දක්වා බලපානු ලැබීය.
නවකතාකරුවා අතින් සිඳුවිය යුත්තේ නිද්‍රාශීලී සමාජය අවදි කිරීමයි. ජීවිතයේ යථාර්ථය හෙළි කීරීම නව කතාවේ මූලික අභිප්‍රාය නම් වික්‍රමසිංහයන් හෙළි කළ නව කතා හයෙන් සිදු වූයේද එබන්දකි. ඇත්ත ඇති සැටියෙන් හෙළිකළ බොහෝ නව කතාකරුවන්ට සමාජයේ ගැරහුම් හිමිවිය. සැබෑ නවකතාකරුවා එය නිහඬව භාර ගත්තේය. වික්‍රමසිංහයන් ද එවැන්නෙකි. බුදු සිරිත විකෘති කොට ඇතැයි සමාජය දොස් නැගීය. යමක් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය හිමිවන්නේම එහි ඇති සුවිශේෂිතාවය නිසාය. වික්‍රමසිංහයන්ගේ බවතරණය සමාජයට බලපෑම් කරන්නේද එහි සමාජය පිළිනොගත් දේ අන්තර්ගත වී තිබූ නිසිවෙනි.
බවතරණයේ සෝදුපත් බැලීම භාර වූයේ දයාපාල ජයනෙත්ති මහතාටය.
“පුලුස්කැප් පිටුව දෙකට කපලා පොතක් විදිහට හදලයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලියන්නේ. අකුරු සාමාන්‍යයෙන් ලොකුයි.”
දයාපාල ජයනෙත්ති මහතා පවසන ආකාරයට මහා ගත්කරුවා සිය සාහිත්‍ය නිර්මාණයන් සටහන් කරන ලද්දේ එසේය. සෝදුපත් කිරීමේදී භාවිත කරන නිශ්චිත සංකේත පිළිබඳවද ජයනෙත්තිට මුලින්ම කියා දුන්නේ වික්‍රමසිංහයන්ය. බවතරණය එකල භික්ෂු සමජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ කෘතියක් විය. බවතරණය මඟින් බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කර ඇතැයි බොහෝ දෙනා වික්‍රමසිංහයන්ට චෝදනා නැගූහ.
“මාර්ටින් වික්‍රමසසිංහ මහත්තයාට අවශ්‍ය වුණේ බුදුරජාණන් වහන්සේ අතිශය මානව භක්තියෙන් යුතු පුරුෂයෙකු බව පැවසීමටයි. සිදුහත් කුමාරයා තමන්ගේ ආත්මය ගලවා ගැනීමේ අදහසින් නොව මුළු මහත් මනුශය වර්ගයා කෙරෙහිම අපිරිමිත දයාවකින් අබිනික්මන් කළ බව කියන්න. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා බවතරණය ලියද්දි හිතේ තිබ්බ දෙයක් තමයි බුදුන් වහන්සේ දේවත්වයට නැගීමෙන් අනාගතයේ විද්‍යා දැනුම බහුලව ලබන තරුණ පරම්පරාව බුදුන් වහන්සේ වෙතින් ඉවත් වේවි. එය වළක්වන්න ඕනෙයි යන්න ....”
මෙලෙස පවසන දයාපාල ජයනෙත්ති මහතා වැඩිදුරටත් පවසන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් බවතරණය ලියන සමයේ ජීවන්ත පැපිනි ලියූ ක්‍රිස්තු චරිතයත්, හර්මන් හෙසගේ ලියූ සිද්ධාර්ථයත් කියවූ වග මතක බවයි.
බෞද්ධ මතවාදයකට හැටියට වික්‍රමසිංහයන් ලියූ බවතරණය පෙරළිකාර නවකතාවක් දැයි ප්‍රශ්න කළ විට ටෙනිසන් පෙරේරා මහතාගේ අදහස වූයේ,
“යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන්ට පිළිතුරු ලියන්න තරම් පෙළරිකාර පොතක් නෙමේ මේක. හර්මන් හෙසේගේ සිද්ධාර්ථ වාගේ නවකතාවක් එක්ක බලද්දි මෙහි කිසිම වටිනාමක් නැහැ. මහාචාර්ය ගම්ලත්ගේ බුද්ධ චරිතය පොත මීට වඩා හොඳයි.”
බවතරණය තුළින් සිදු වූ සමාජ බලපෑම කෙසේද යන්න පැහැදිලි වෙයි.
මාර්ටින් වික්‍රමසිංහ ශූරින් තම 86 වියැති ජීවිත කාලය තුළදී කරන ලද විශාල වූ නිර්මාණ සම්භාරය අතුරින් බවතරණයට සුවිශේෂි තැනක් හිමි වන්නේ එම ග්‍රන්ථය ලාංකේය ජනතාව තුළ විප්ලවීය චින්තන වෙනස නිසාය.
බවතරණය ලාංකික බෞද්ධ සමාජය පිළිගත්තේ, සිදුහත් කුමරු සුපිරි තරුණයෙකු නොව ඉන්දියානු සමාජයේ ජීවත් වූ මනසින් මුහුකුරා ගිය බුද්ධිමත් සාමාන්‍ය තරුණයෙකු බවයි. එමෙන් ම බුදුන් වහන්සේ අරුම පුදුම දෙවි කෙනෙකු නොව උසස් චෛතසිකයෙන් යුත් දියුණු වූ මනුෂයෙකු බවයි.
මෙතෙක් බුද්ධ චරිතය සාහිත්‍යයට නැගීමේදී කතුවරුන් විසින් එක් කර තිබූ අද්භූතවාදි අතිශෝක්ති සහගත වූ දේවත්වයට සමාන ඇතැම් වර්ණනා පිළිබඳ මාර්ටින් වික්‍රමසිංහයන් තරයේ ප්‍රතික්ෂේප කළහ.
“මගේ මේ සිදුහත් බුදු සිරිත නව කතාව මම රචනා කලේ බමුණු සකු අත්භූතවාදය හා රීතිය ඉදුරා බැහැර කොට යථාර්ථවාදය හා රීතිය පදනම් කරගෙනය.”
බවතරණය සංඥාපනයේ 7 පිටුවේ සඳහන් මෙම ප්‍රකාශය තුළින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අරමුණ ඉතා හොදින් පැහැදිලි වෙයි.
සිදුහත් උත්පත්තියට සමකාලීන ඉන්දියානු සමාජය තුළ වාදයෙන් බෙදී ගිය සමාජයක් විය. සිදුහත් උපන් පෙදෙස පිළිබඳ මනා භූගෝලීය විස්තරයක් මෙන්ම උපන් සමාජ පරිසරය පිළිබඳ මනා විස්තරයක් පාඨකයන්ට දැන්වීමට වික්‍රමසිංහ ශූරීන් විසින් මෙම නව කතාව තුළින් උත්සාහ ගෙන ඇත්තේ සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්ම යාමේ හේතුව විග්‍රහ කිරීමට පසුබිම සැකසීමටය.
සිදුහත් කුමරා ඉපදීම සම්බන්ධයෙන් පාරම්පරික සාහිත්‍යය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ජාතික අටුවාවෙහි උපන් හැටියේ කතා කිරීම ,සත් පියවරක් යාම ,සතලිස් දහසක් නළඟනන් පිරිවරා සිටීම, සතර පෙර නිමිති පෙන්වූයේ දෙවියන් විසින් යැයි කීම වැනි ප්‍රබන්ධ කතාවන් බවතරණයේ සිදුහත් උපත පිළිබඳ පරිච්ඡේදයෙන් බැහැර කර ඇත. එමෙන්ම නෙළුම් මල් සතක් මත සිදුහත් කුමරා පා තැබූ බව කියැවෙන අතිශෝක්ති සහගත මවාපෑම් මාර්ටින් වික්‍රමසිංහයන් ප්‍රතික්ෂේප කර තිබීම ද මේ කෙරෙහි භික්ෂූන් වහන්සේලාගේ අප්‍රසාදය යොමු වීමට හේතු වූ බව සඳහන් කළ හැක.
එමෙන්ම සිදුහත් තවුසන්ට සිය දුෂ්කරා ක්‍රියා සමයේදී ගෝපිකා නම් කාමි ලියක් හමුවන්නීය. කාමි ලියක් ලෙස හඳුනන්වා දීමට හේතුව වන්නේ ඇය අප මනසට ප්‍රවිශ්ට කර ඇති ආකාරරය නිසාවෙනි.
“දැඩි කුඩා පියයුරු ඇති සම මදක් එළලු ඇත්තියක්... ” ලෙස මාර්ටින් වික්‍රමසිංහයන් ඇයව ප්‍රවිශ්ට කරයි. ඇය සිදුහත් තවුසාට පිළිගන්වන්නේ එළකිරිවලට බිත්තර සුදු මද දමා සෑදු පෝෂණීය පානයකි. මෙය නව කතාකරුවාගේ නිර්මාණයකි. එහෙත් මේ අවස්ථාව දෝශ දර්ශනයට ලක් කළ යක්කඩුවේ ප්‍රඥාරාම හිමියෝ එයට එරෙහිව ග්‍රන්ථ පල කළහ. එයින් ඇති කළ සමාජ බලපෑම කොපමණ දැයි කිවහොත් අවසානයේදී මාර්ටින් වික්‍රමසිංහයන්ට එම කොටස් ඉවත් කර ගැනීමට පවා සිදු විය.
එයින් පෙනී යන්නේ ජන මනස තුළ ස්ථාවරව තැන්පත්ව තිබෙන පරමාදර්ශී චරිත එබදු වෙනස් කිරීම්වලට භාජනය කිරීම අනතුරුදායක බවයි. එය ලාංකේය සමාජයට පමණක් නොව සමස්ත ලෝකය පුරාම දැකිය හැකි ලක්ෂණයකි. සල්මන් රුෂ්ඩි, තරිෂ්මා, නස්රීන් වැනි ලේඛික ලේඛිකාවන්ටද ආගමික මතවාද ප්‍රතිනිර්මාණය කිරීම බලවත් අර්බුදකාරී තත්ත්වයන් ඇති කළ බව දනිමු.