Thursday, May 18, 2017

           උඩරට නර්තන සම්ප්‍රධායේ මුදුන් මල්කඩ       

උඩරට නර්තන සම්ප්‍රධායේ මුදුන් මල්කඩ ලෙස පිදුම් ලබන කොහොඹා කංකාරි ශාන්තිකර්මයේ වගතුග සොයා අද අපි  යනවා.


කොහොඹා කංකාරිය ගැන ගෙතිච්ච පුරා කතා කිහිපයක් තියෙනවා. ඒ අතරින් පඬුවස් දෙවි රජුගේ කතාව ප්‍රධාන වෙනවා. හත් සීයක් පිරිවර සමඟ විජය රජතුමා ලංකාවට ගොඩ බසින කොට කුවේණිය කපු කටිමිනුයි සිටියේ. කෙසේ හෝ තම වසගයට කුවේණිය නතු කර ගැනීමට විජය රජු සමත්කම් දැක්වූවා. මේ දෙදෙනාගේ විවාහයේ ප්‍රථිපලයක් ලෙස ජීව හත්ත හා දිසාල නමින් දරුවන් දෙදෙනෙකු ඉපදුණා. ටික කලක් මෙහෙම ජීවත් වෙන කොට විජය රජතුමා තම වංශයේ කුමරියක් මදුරාපුරයෙන් ගෙන්වා ගෙන සරණ පාවා ගත්තා. කුවේණිය දරු දෙදෙනාත් සමඟ පිටුවහල් කරන්නට තරම් විජය රජු දුෂ්ඨ වුණා. විජය රජු කෙරෙහි කෝපයට පත් තුවේණිය දිවි වේෂයකින් පැමිණ විජය රජු මැරීමට උත්සාහ කළා. තමා පන්වා දැමීමේ තරහින් කුවේණිය විජය රජුට ශාප කළා. විජය රජුගෙන් පසුව රජ පැමිණි පඬුවස් දෙව් රජුට කුවේණියගේ ශාපය බලපෑවා. සිහිනයෙන් දිවි දෝෂයක් දැක බිය පත්වූ පඬුවස් දෙව් රජ බලවත් සේ රෝගාතුර වුණා. කොහොඹා යක් කංකාරිය නමින් සිදු කළ ශාන්තිකර්මයෙන් පසු එම දෝෂය සුව වූ බව සදහන් වෙනවා. 

අනුරාධපුරයේ මහමෙවුනා උයනේ හදපු රංග භූමියක මේ යාතු කර්මය සිදු කළා. ඔන්න ඔය විදිහට තමයි කොහොඹා කංකාරිය මුලින්ම ආරම්භ වෙන්නේ.
 

 කංකාරිය කරන්න කලින් හොද පොල් ගහක් වෙන් කර ගන්න වෙනවා. මේ පොල් ගහ වටේ ගොක්කොළවලින් සරසලා කංකාරිය කරවන්න ඇප වෙන් කිරීමක් කරනවා. කංකාරියට අවශ්‍ය පොල්, පොල්තෙල් එහෙම යොදා ගන්නේ මේ පොල් ගහෙන් තමයි. කංකාරියට මාස තුනකට කලින් කප සිටුවීම සිදු කරනවා. ප්‍රධාන යක්දෙස්සා ඒ කියන්නේ කංකාරිය කරවන ප්‍රධාන ශිල්පියා සුභ නැකතට කප සිටුවීම සිදු කරනවා. මේ කපට ගන්නේ ඵල රහිත කොස් ගසක්. කංකාරි භූමියේ පැත්තකට වෙන්න බිම අටමගල ඇදලා සරසලා සුභ නැකතට කප සිටුවීමේ චාරිත්‍රය ඉෂ්ට කරනවා.
 

දැන් කංකාරි මඩුව සකස් කරන්න ඕනේ. දිගින් 60 රියනක් හා පළලින් 30 රියනක් ලෙස එම මඩුව සකස් කරනවා. ඊට පස්සේ ගොක් කොළ, පොල්, නවිසි, බෝවිලි, තල් වගේ දේවල්වලින් මඩුව සරසනවා. මේ මඩුවේ එක පැත්තකින් කොටස් තුනකින් වෙන්වෙලා තියෙන මල් යහනාවක් හදනවා. මේ මල් යහනට කියන්නේ යක්සාය කියලා. යක්සායත් ගොක්වලවලින් සරසා ගන්නවා. ඊට පස්සේ ඒ යක්සාය දෙපැත්තේ කෙසෙල් කැන් එක් කොට තියෙන කෙසෙල් ගස් දෙකක් හිටවා ගන්නවා. කංකාරියට අවශ්‍ය දේවාභරණ දේව රූප තැන්පත් කරලා  මල් පහන් පූජා කරන්නේ මේ යක්සායේ වෙන් කරලා තියෙන යහන්වලදි. මේ යක්සායට ඉස්සරහින් මඩුවේ අනිත් කෙළවරේ අයිලය හදනවා. එම ස්ථානයේ කෙහෙල් මුව තියෙන කෙසෙල් ගස් නවයක් හිටවන්න ඕන. කොහොඹා කංකාරි ශාන්ති කර්මය කිරීමේදි චාරිත්‍ර විධි කිහිපයක් අනුගමනය කරනවා. පංච තූර්ය නාද කරමින් දේවාලයක සිට කංකාරි මඩුවට දේවාභරණ වැඩම වීම ,දේවාභරණ අයිලයට වැඩම වීම කියලා හදුන්වනවා. දෙවියන් සංකේතවත් කරන්න තමයි එහෙම දේවාභරණ වැඩමා ගෙන එන්නේ. ඒ දේවාභරණ මල් යහනක තැන්පත් කරලා සුවද දුම් අල්ලලා පහන් පත්තු කරලා කෝල්මුර කවි ගායනා කරනවා.
 

 මල් යහනාව ළඟ අටමඟල ඇදලා  එතන ආතුරයා වාඩි කරවලා පූජා භාණ්ඩ තැන්පත් කොට කවි කියමින් ආතුරයාට සෙත් ශාන්ති කරනවා.
කොහොඹා කංකාරියේ වාදන අවස්ථාවන් අතර ප්‍රධාන තැනක් ගන්නා අංගයක් ලෙස මගුල් බෙර වාදනය සලකන්න පුළුවන්. ශාන්ති කර්මය සඳහා භාවිතා කරන ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන්නේ ගැට බෙරයයි. බෙරයට දුම් අල්ලා තෙරුවන් ගුණ සිහි කරලා තෙරුවන් කෙරෙහි කරන පූජාවක් විදිහට මගුල් බෙර වාදනය සලකනවා. මේ සදහා කංකාරියට සහභාගි වන සියලුම වාදකයින් එක් වෙනවා.

මගුල් බෙර වාදනයෙන් පසුව එක් එක් බෙර වාදකයින්ට තම දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් උදා වෙනවා. එම බෙර වාදනය යහන් බෙර වැයීම කියලා හදුන්වනවා. මෙය ශාන්තිකර්මයේ ප්‍රේක්ෂක අවධානය දිනා ගත් විශේෂ අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. මෙම බෙර වාදනයෙන්  පසු නර්තන ශිල්පීන්ට රංග භූමිය වෙන් කරනු ලබනවා. වෙස් ඇදුම් කට්ටලයෙන් සැරසුණු වෙස් නර්තන ශිල්පීන් උඩුවියන් යටින් කංකාරි මඩුවට කැදවා ගෙන එනු ලබනවා.
 

නර්තන ශිල්පීන් ඉදිරිපත් කරන ප්‍රධාන නර්තනාංගයක් ලෙස යක් ඇනුම සැලකෙනවා. දෙවියන් ඇතුලු සියලු දෙනාට මල් යහනට වඩින ලෙස ආරාධනා කරමින් කවි ගායනා කර බෙර වාදන මැද්දේ නර්තන ඉදිරිපත් කරනු ලබයි.
 

කවි, ගායනා නර්තනයට එක් කරන්නේ අපූරු චමත්කාරයක්. කුවේණි අස්න, සිහබා අස්න එහි චමත්කාරය එක් කරන නර්තනාංග ලෙස හැදින්විය හැකිය.

කුවේණි අස්න මෙම ශාන්ති කර්මයේ පුරා කතාව සිහි ගන්වයි. බෙර කරුවන්ට මෙන්ම නර්තන ශිල්පීන්ටද සිය දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් සැලසෙනවා. ඒ සඳහා මෙම අස්නේ නර්තනය උපයෝගි කර ගන්නවා. මෙය ගායනය සහිත අපූරු නර්තනාංගයක් ලෙස කංකාරියේදී කැපී පෙනෙයි.
 

යක්තුන් පදය නමින් හැදින්වෙන වාදකයන්ට වෙන් වුණු තවත් අංගයක් කංකාරියේ දක්නට ලැබෙයි.
 

මුටිටි පදය, දුම්මල පදය, මල් පදය, සළු පදය, පොල් පදය, බුලත් පදය, කොතල පදය යන හත් පදය නැටීම ද කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ දැකිය හැකි තවත් සුවිශේෂි අංගයකි. මීට අමතරව මලය රජතුමා ඌරට විදින්න ආපු සිදුවීම සිහි කරමින් දුනු මාලප්පුව නම් නර්තනාංගයද මෙහිදි ඉදිරිපත් කරනවා. කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ දැකිය හැකි දීර්ඝතම නර්තනාංගය නම් ආවැන්දුමයි. මෙයට විශේෂ වූ පද කොටස් එකතු වෙයි. අලංකාර නර්තනයක් වුණු මෙම නර්තනයෙන් මලය රජුගේ උයන පාළු කළ බව කියන ඌරාගේ ප්‍රමාණය හැඩරුව වාසය කරන දිශව ආදිය හස්ත මුද්‍රාවෙන් ඉදිරිපත් කරනවා.
 

ඉන් අනතුරුව ගබඩා කොල්ලය, ගෙට ගිනි තැැබීම, මුව මල විදීම, කොහොඹා හෑල්ල වැනි නර්තනාංග  ඉදිරිපත් කෙරේ. දැන් කෙහොඹා කංකාරිය නිමා වීමට ආසන්නයි. අයිලය පිටුපසින් තියෙන කෙසෙල් ගහක කෙසෙල් මුවයට විදලා මුවය කඩා ගෙන ඊතලයෙන් කෙසෙල් මුවය  පතුරු ගහලා අයිලය උඩින් විසි කරලා කංකාරිය අවසන් කරන නැටුම ඉදිරිපත් කරනවා. ප්‍රධාන යක්දෙස්සා මාර පදය හා ආලත්ති පදය කියන පද දෙකට අනුව හස්ත  මුද්‍රාවෙන් කරන රංගනයක් ලෙස මාර පද නැටීම හදුන්වන්න පුළුවන්. එම නර්තනයෙන් පසුව කංකාරිය නිමා වූ බව තුන් පාරක් පවසා ප්‍රධාන බෙර කරුවාගේ ශාස්ත්‍රීය බෙර වාදනයෙන් කංකාරිය නිමා වෙනවා.



2 comments: