Thursday, May 11, 2017

නාමල් අංග රජමහා විහාරයේ වතගොත සොයා  
ලංකාවේ සොඳුරු තැන් සොයා පාර දිගේ යන ගමනේ මීළඟ නවාතැන්පල වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි තවත් අපූරු ස්ථානයක් වෙතය. වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹන්පොල ග්‍රාමයේ පිහිටි  නාමල් අංග රජමහා විහාරය ලංකාව පුරා බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන සිද්ධස්ථානයකි. ලංකාවේ පිහිටි රජමහා විහාර අතර තවත් අපූරු වන්දනීය පුරාණ විහාරයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
 
අපූරු සුන්දරත්වයක් මෙන්ම එහි අපූරු ඓතිහාසික කතා පුවතකින් පූර්ණ බව එහි ගමන් කළ අපට දැනගන්නට ලැබුණි. ක්‍රි.පූ.161-137 යුගයේදී දුටුගැමුණු මහ රජතුමා විසින් රිදී විහාරයට බුද්ධ ප්‍රතිමවක් වඩම්මවා ගෙන අතරමග රෑ බෝ වීම නිසා රාත්‍රිය ගත කිරීමට අඹන්පොල ග්‍රාමයට පැමිණ තිබේ. එසේ පැමිණ නවාතැන් ගත් ස්ථානය වර්තමානයේ නාමල් අංග රජමහා විහාරය ලෙස හැඳින්වෙයි. විකසිත වූ නාමල් සුවඳින් සුගන්ධවත් වන බැවින්ද නාමල් හැඩයෙන් යුක්තව විහාර අංගයන් සැකසී ඇති බැවින්ද නාමල් අංග රජමහා විහාරය ලෙස මෙම විහාරස්ථානය නම් කර තිබෙන බව අදහසයි.

නාමල් අංග රජමහා විහාරය හා සම්බන්ධ තවත් ඓතිහාසික මූලාශ්‍රයක් තිබේ. එනම්  සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව ගෙන ආ යුගයේ විහාරයට පොහොය සීමාවක් ලබා දෙමින් ලියන ලද තල්පතක් අදද මෙම විහාරයේ තැන්පත්ව පවතින බවයි.
බෞද්ධ සිද්ධස්ථානයක් වැඳ පුදා ගැනීමේ පිළිවෙළින් අපි පළමුව වෙහෙර වහන්සේ වෙත පියනැගීය.මෙහි දැක්වෙන්නේ අප කැමරා කාචයේ සටහන් එහි ඡායාරූපයකි.

අතින් රේඛා නිර්මාාණය කර සෑදූ සෙවිලි, වාමන රූප, කැටයම්වලින් තොර සදකඩ පහනක් , සිරිපතුල් ගල් සටහන් කරන ලද මල් ආසන තුනක් මෙම විහාරස්ථානයේ තිබී සොයා ගෙන ඇති බව සටහන් වෙයි. මහනුවර යුගයේදී නැවත ප්‍රතිසංස්කරණය කර තිබේ. එනම් ක්‍රි.ව.1747-1782 වකවානුවේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී සිදූ වූ ශාසනික මෙහෙවරක් ලෙසය. යලි වරක් ක්‍රි.ව.1865 දී පමණ ගෙකරැල්ලේ රතනජෝති හිමිපානන්ගේ දායකත්වයෙන් නාමල් අංග විහාරයේ ප්‍රත්සංස්කරණ කටයුතු කර තිබෙයි.

වර්තමානය වනවිට අති විශාල වූ දායක පිරිසකගේ කැපවීමෙන් සහ නායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් මෙයට නවාංග කිහිපයක්ම එකතු කර තිබෙයි. ඒ අතර අලුතින් ඉදි කරන ලද පිළිම ගෙය ලොව පුරා බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වී තිබෙයි.
 
මූර්ති සහ චිත්‍රවලින් අලකෘත වූ මෙම පිළිමගෙය බුද්ධ චරිතයේ සිදුවීම් ගණනාවක්ම අනාවරණය කිරීමට සමත් වෙයි. සත්සතිය මෙන්ම ජාතක කතා බොහෝමයක් එහි චිත්‍රණය කර තිබෙයි.

බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ මෙම  විහාරයේ තවත් අපූරු නිර්මාණයක් දැකගත හැැකිය. බෞද්ධයන් වශයෙන් අපි බොහෝදෙනා කුසලය හා අකුසලය පිළිගනිති. එකී පින්පව් විපාක දෙන ආකාරය  මනාව ඉදිරිපත් කරමින් ජීවත්ව  සිටින කාලයේදීම නිරයෙහි ස්වභාවය අවබෝධ  කරදෙමින් අපාය ගෘහයක් ඉදි කර තිබෙයි. පොහොය දිනයේදී මෙම විහාරය වන්දනයට පැමිණෙන බැතිමතුන්ට මෙම අපාය ගෘහය දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙයි.



No comments:

Post a Comment