Thursday, August 3, 2017

අවුරුදු ජන ක්‍රීඩා


ලංකාවේ වෙසන ලොකු කුඩා කවුරුත් බක් මාසයට වඩාත් කැමතියි. ඒ මන්දැයි ඇසූවහොත් අවරුදු සිරියෙන් රට වෙලා ගන්න නිසා බව කවුරුත් කියයි. බාල මහලු කවුරු වුණත් අවුරුදු සිරිය විද ගැනීමට කැමතියි. නූතනයේ නම් විවිධ වෙනස්කම් දැකිය  හැකි වූවත් අතීතයේ දී නම් මේ වටා ගෙතුණු අපුරු සංස්කෘතික පසුබිමක් තිබුණු බව පෙනෙයි. ''පාර දිගේ'' රට වටා යන ගමනේ අද කතා කරන්න හිතුවේ අවුරුදු සිරිය සමඟ දායාද වුණූ ජන ක්‍රීඩා ගැනයි.


කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවුණු ආදීතමයන් එකී කාර්යයේ අවසානය හරි අපූරුවට නිම කර තිබේ. මානසික සුවය පතා ඔවුන් එක්වී විවිධ ජන නාටක රග දැක්වූ අතර ජන ක්‍රීඩාවේ යෙදෙන්නත් අමතක කළේ නම් නෑ. මේ ක්‍රීඩා වර්ග පිළිබ`ඳ සොයා ගිය ගමනේ ගොඩක් රසමුසු තැන් ස්පර්ශ වුණා.
 

              ජන ක්‍රීඩා පිළිබඳ කතා කරනකොට,
 

ගෘහ ක්‍රීඩා  - පංච කෙළිය / ඔළිද කෙළිය /නෙරෙන්චි ඇදීම
 

එළිමහන් ක්‍රීඩා- රබන් ගැසීම/ ඔන්චිලි පැදීම/චකකුඩු පැනීම
 

ආගමික හා දේව සංකල්පය මත බැදුණු ක්‍රීඩා - අං කෙළිය /පොර පොල් ගැසීම
 

සාමූහික ක්‍රීඩා - මේවර කෙළිය/ එ`ඵවන් කෑම/පංච කෙළිය
 

ලෙස ඒවා බෙදා දැක්විය හැකිය.
 

පංච කෙළිය
 
ගජබා රජතුමා සොළී රටට පැහැර ගෙන ගිය  සිංහල සේනාවට පළිගැනීමක් වශයෙන් සොලී රටෙන් දොළොස් දහසසක් සෙනග රැගෙන එන ලදි. ඒත් සමගම මෙම ක්‍රීඩාව මෙරටට ව්‍යාප්ත වූ බව ඉතිහාස කතාවල සදහන් වෙයි. මෙම ක්‍රීඩාවට සම්බන්ධ වීමෙන් මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට ජයග්‍රහණය හිමි වෙයි. පත්තිනි දේවිය හා බැදුණු ක්‍රීඩාවක් වන මෙය පත්තිනි දේවියගේ ප්‍රසාදය දිනා ගැනීමට කරනු ලබන ක්‍රීඩාවක් බව ගැමියන් වශ්වාස කරයි. පංච යනු දෙමලෙන් බෙල්ලන් හෙවත් කවඩිවලට කියනු ලබන නමකි. ගජබා රජු සොළී රටට ගොස් වන්දි වශයෙන් ගෙන ආ දමිළයන්ට වන්දනා කිරීම පිණිස පත්තිනි සළඹ ගෙන ආ බව සිතිය හැකිය. ඒ සමගම පතිතිනි දේවිය හා සබැදි ක්‍රීඩා ආ බවට මෙහි දී භාවිතා කරන සල්ලන් වීමේදී කියනු ලබන ඔණ්ඩු , රෙන්ඩු වැනි වචනවලින් පෙනේ. එමෙන්ම පංච පෙතේ ද්‍රවිඩ චිත්‍ර ශෛලීන් ද  මෙයට උදාහරණයකි.

ඔළිඳ කෙළිය


 
මේ සදහා කාන්තාවන් දෙදෙනෙකු සහභාගී වෙයි. දිග අගල් 10 සිට 14  අතර දක්වා වන අතර පළල 6 සිට 8 අතර වන පරිදි සකසා ගත් ලෑල්ලක් මේ  සදහා යොදා ගනු ලබයි. ඔළිද පුවරුවට ඔළිද කොම්බුව යන නම ද භාවිතා කරනු ලබයි. එමෙන්ම මේ සදහා ගායනා ක්‍රමයක්  ද පවතියි.
 

ඔළිද තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔලිද තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් හදන්නේ කොයි කොයි  දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ
 

මෙවැනි ගායනා සහිතව මෙම  ක්‍රීඩවේ යෙදෙයි. ඔළිද පුවරුවේ වළවල් 14කට ඇට 4 බැගින් 56 ක් ඇත .එක් ක්‍රීඩිකාවක් තම පේළියේ මුල් වළේ ඇට අතට ගනු ලබයි. මෙසේ  ලබා ගත් ඔළිද ඇට වළකට එක බැගින්  ළඟම ඇති වළවල් වලට  පිළිවෙළින් දමනු ලබයි. ඊළග වළේ ඇති ඇට සියල්ල ද මුලින් කළ අන්දමට සිදු කරයි. මෙසේ ඔළිද ඇට පුරවන අතර අතේ ඇට පුරවන විට හිස් වළක් හමුවුවහොත්  ඊට එහා පැත්තේ ඇති ඇට සියල්ල ඉසීම කරන ක්‍රීඩිකාවට හිමි වෙයි. පිළිවෙළින් හිස් වළවල් දෙකක් හමු වූ විට තුන්වෙනි වළේ ඇති ඔළිද ඇට කෑමට ක්‍රීඩිකාවට අවසර නැත. එවැනි අවස්ථා පුස්සක් ලෙස හදුන්වයි. එවිට අනෙක් ක්‍රීඩිකාවට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසෙයි. පුවරුව එක් පැත්තක ඇට සියල්ල හමාර  වූයේ නම් එය පුහුල කපනවා ලෙස හදුන්වයි. මෙහිදී ජය ගන්නේ වැඩිම ඔළිද ඇට ලබා ගන්නා අයයි.

මේවර කෙළිය


 
මෙය කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් කරනු ලබන ක්‍රිඩාවකි. මේවර යන්නට අදහස් කිහිපයක් තිබෙයි.
 

මේවර යනු වළල්ලකි
මේවර යනු කන පළදින ආභරණයකි
මේවරයා යනු මෙහෙකරුවෙකි. 


නමුදු සමස්ත පිළිගැනීම වන්නේ මේවරය යනු කන  පළදින ආභරණයක් බවයි.
මෙහිදී සමූහ වශයෙන් ගීත ගායනා කරනු ලබයි.
 

“සාර සදිසි පෙති පේර නෙලන කළ වළගිය දෝ මගේ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා”
 

මෙලෙස අවුරුදු ජන ක්‍රීඩා රැසක් පවතියි. එවන් වූ තවත් ක්‍රීඩාවන් කිහිපයක් ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.











No comments:

Post a Comment