Tuesday, June 20, 2017

කලාවට හිතැති කලාකරුවන්ට භරත නාට්‍යයම්

පාර දිගේ යන ගමනේ අද අපි කතා කරන්නේ කලාවට හිතැති කෙනෙකුගේ නෙතට ප්‍රිය වුණු තවත් අපූරු කලාංගයක් ගැනය. 

නර්තන ශිල්පියා වනාහී දේශීය මෙන්ම විදේශීය කලාංගයන් ද ප්‍රිය කරන්නෙකි. ඒ නිසාම  විදේශීය නර්තනාංගයන් ගැන දැන සිටීම ඉතා වැදගත්ය. උඩරට, පහතරට හා සබරගමු ලෙස දේශීය නර්තනය වර්ග වන විට විදේශීය නර්තනයටද එකී වර්ගීකරණය බලපාන්නේය.

කථක්, කතකලි, මනිපුරි වැනි නර්තනාංග අතර භාරතීය නර්තන සම්ප්‍රධායක් වන භරත නාට්‍යයම් ඉතා වැදගත්ය. දක්ෂිණ භාරතයේ නිරිතදිග ප්‍රදේශය වශයෙන් හැඳින්වෙන තාන්ජෝරය කේන්ද්‍ර කරගෙන භරත නාට්‍යයම් උපත ලබනවා. භරත නාට්‍යයම් තාන්ජෝරයට පැමිණ ඇත්තේ ආන්ද්‍රා දේශයෙනි. මෙහි මූලාරම්භය තරමක් වෙනස් ලක්ෂණ සහිතව ව්‍යාප්ත වන්නට ඇත. එනම් මුල්  කාලයේ දී දේවාලවල දේවදාසීන් විසින් මෙම නැටුම් ඉදිරිපත් කර තිබේ. ඒ නිසාම මෙම නර්තනාංග දාසි ආට්ටම්  ලෙස  හඳුන්වලා තියෙනවා. පසු කාලීනව පණ්දනලූර් පෙළපතේ මීනාක්ෂි සුන්දර  පිල්ලේ විසින් මෙයට භරත නාට්‍යයම් යන නාමය එක්කර තිබේ. මෙය ස්ත්‍රීන් වෙනුවෙන්ම වෙන් වුණු නර්තනාංගයක් වීම විශේෂත්වයකි.

 භරත නාට්‍යයම් විශේෂයෙන් දේවස්ථානයට අයිති නාට්‍ය ක්‍රමයක් වන බැවින් ඒ නාට්‍ය ක්‍රමයෙන් ප්‍රකාශ වන්නේ රාමායනය, මහාභාරතය යන මහා කාව්‍යයන්ගේ දක්නට ලැබෙන කතා ප්‍රවෘත්ති හා ඒ වීරකාව්‍යයන්ගේ නිරූපිත චරිතයන් හා සිදුවීම්ය.
භරත නාට්‍යයම් පිළිබඳ කතා කිරීමේ දී එය කොටස් වශයෙන් බෙදා ගැනීම වැදගත් වන්නේය.

නෘත
නෘත්‍ය
නාට්‍ය

එම කොටස් ලෙස වර්ග කර දැකිවිය හැකිය.

ඕනෑම කලාවක් ජනප්‍රිය තලයට නොඒසේනම් එය විශ්වීය තලයට ගෙන ඒමට නම් ඒ හා සම්බන්ධ විශිෂ්ට නිර්මාණකරුවන් බිහි විය යුතුය. භරත නාට්‍යයම් කලාවටත් එලෙස පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ කලාකරුවන්  පිරිසක් ඉන්නවා.

ඒ අතර චින්නයියා, පොන්නයියා, ශිවනාදන් හා වඩිවේ`ඵ යන සිව් දෙනා ප්‍රධාන කොට සලකනවා. මොවුන් තාන්ජෝරයේ පන්දනලූර් පෙලපතේ දක්ෂතම ගුරුවරුන් ලෙස ද සැලකෙනවා. පසු කාලීනව මෙම නර්තනාංගය පෝෂණය කරමින් දක්ෂ නර්තන ශිල්පීන් මෙන්ම එය ඉදිරියට ගෙන යාමට දක්ෂ ගුරුවරුන් ද බිහි වුණා. බාල සරස්වති, ශ්‍රී මීනාක්ෂි සුන්දර පිල්ලේ, අමලා දේවි වැනි අය ඒ අතර වෙනවා.
භරත නාට්‍යම් උගන්වන ගුරුවරයාට විශේෂිත නාමයක් භාවිතා කරනවා. 

ඒ වගේම නර්තන සම්ප්‍රධාය ,වාද්‍ය  භාණ්ඩ මෙන්ම සංගීතයේ ද යම් යම් විවිධතා දැකිය හැකිය.මේ සඳහා යොදාගනු ලබන්නේ දකුණු ඉන්දියානු සුප්‍රකට සංගීත සම්ප්‍රධායක් වන කර්ණාට සම්ප්‍රධායයි. භරත නාට්‍යයම් සඳහා මෘදංගය, වීණා, බටනලා, තාලම්පට හා තාන්ජුරා ආදි වාද්‍ය භාණ්ඩයන්ගේ සහය ද ලබා ගන්නවා. මෙහි විශේෂත්වයක් වන්නේ තාලම්පට වාදනය කරනු ලබන්නේ නට්ටුවනාර් නොහොත් ගුරුවරයා විසින් වීමයි. මෙහි ගායනා කරනු ලබන ගීත තෙළිගු හා සංස්කෘත භාෂාවෙන් ප්‍රබන්ධ වී තිබේ.  ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස යොදා ගනු  ලබන්නේ මෘදංගයයි.

භරත නර්තන ශිල්පිනියක් සැබවින්ම අලංකාර රංග වස්ත්‍රාභරණයෙන් සැරසීමට අමතක නොකරයි. හිසට, නාසයට, කනට වෙන වෙනම ආභරණ පළදින ශිල්පිනිය උඩරට ,පහතරට ආදි දේශිය නර්තන ශිල්පිනියකගේ බාහිර පෙනුමට තරමක් වෙනස්ය.

හිසට පලදින ආභරණ ලෙස,
රාකඩි මාලෙයි
උච්චි පටිටම්
නේත්‍රා පට්ටම්
සූරිය පිරෙයි
චන්ද්‍ර පිරෙයි
නාසයට,
මුක්කුත්ති
බිලාක්ක

කනට,
තෝඩු
ජිමිකි
මාට්ටල්

ගෙලට,
අට්ටයල්
මාංග මාලෙයි
කාසි මාලෙයි
පදක්කම්

උරභාහුවට - වංගි
ඉනට - ඕට්ටියානම්
කකුලට - සලංගෙයි
කොණ්ඩයේ අග පළදනාව - කුංජම්

භරත නාට්‍යයම්වල දී රංග වස්ත්‍රාභරණවලට විශේෂ තැනක් හිමිවෙයි. වේෂ නිරූපනය  හැදින්වෙන්නේ උප්පනයි නමිනි. භරත නාට්‍යයම් නර්තනය අංග 7ක එකතුවක් ලෙස සලකනවා.
අලාරිප්පු
ජතිස්වරම්
ශබ්දම්
වර්ණම්
පදම්
තිල්ලානා
ශ්ලෝකම්

ගායනය, වාදනය  හා නර්තනය මනා ලෙස සුසංයෝග වූවක් ලෙස භරත නාට්‍යයම් භාරත දේශයේ ප්‍රසිද්ධියක් උසුලයි.

4 comments: