Monday, August 7, 2017

මාධ්‍ය සංස්කෘතිය

සංස්කෘතිය 

මිනිස් චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම සංස්කෘතිය නියෝජනය කරයි. මානව දිවිපැවත්ම මෙහෙය වන ප්‍රධාන සාධකය වන්නේ ද එයයි. පළමුව සංස්කෘතිය යනු කුමක්ද විමසීම වැදගත්ය.

ඒ අනුව සංස්කෘතිය යන්න පිළිබඳව පැහැදිලි කරන නිර්වචන කිහිපයක් විමසා බලමු.
 


සමාජ විද්‍යාඥ ඊ.බී. ටයිලර් ,
 

“ සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු දැනුම, ඇදහිලි, කලා, නීතිය, සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගත්තා වූ පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි. ”



රේමන්ඞ් විලියම්,
“ සංස්කෘතිය යනු සමස්ත ජීවන මාර්ගයයි.’



මාර්ටින් වික්‍රමසිංහ මහතා - මානව විද්‍යාව සහ සිංහල සංස්කෘතිය කෘතිය
 

“ සංස්කෘතිය යන වචනෙන් හැඳින්වෙන්නේ වෙනස් නොවන ස්ථාවර වස්තු හා ධර්ම සමූහයන් නොවෙි. හේතු ප්‍රත්‍යයක් ලැබෙන සැටියෙන් වෙනස් වන උපකරණ හා ධර්මයන් සමූහයකි.”


බී.මැලිනොවුස්කි - (Scientific theory of culture)

“සාකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමිකරගත්තා වූ පාරම්පාරික වශයෙන් ලබා ගන්නා වූ සියළුම චර්යා රටාවන්ට දිය හැකි සාමුහික නාමය සංස්කෘතියයි.”




ෆිස්කි

    ’‘ අපගේ සමාජ අත්දැකීම්වල හා ඒ තුළින් අර්ථ නිශ්පාදනය කිරීමේ අනාවරණ ක්‍රියාවලිය සංස්කෘතියයි.”



සමාජ සංවර්ධන ක්‍රියාවලියේ දී සංස්කෘතිය හා බැඳුණු සංකල්ප ගණනාවක් පිළිබඳ අවධානයට ලක් වෙයි.

 

             සංස්කෘතික දුගී බව  - කොතරම් උසස් යැයි සම්මත  සංස්කෘතියක වුවද දැකිය හැකි දුබල සංස්කෘතික ලක්ෂණ හෙවත් ජාතිවාදය, ආගම්වාදය ,ස්ත්‍රීන් නොසලකා හැරීම,කුලවාදය වැනි ගති ලක්ෂණ මෙයට අයත් ය.
 

           දුගී බවෙි සංස්කෘතිය     - දුගී බව තුළ දිගු කාලයක් ලැග සිටින සමාජයක ස්ථාවර වෙන දුගී බව හා බැඳුණු ගති ලක්ෂණ  සමූහය මෙයට අයත්ය.

    
           මානව කේන්ද්‍රනය       - අන් සංස්කෘතීන් අතර තම ජාතිය , ආගම හෝ කුලය උසස් යැයි සිතමින් අන් අය පහත් කොට සලකමින් තමා පිළිබඳ උඩඟු ආකල්පයක් සහිත වීම මෙයින් අදහස් කෙරේ.
 


          සමාජ අනුකලනය         - අන් සංස්කෘතීන් පිළිබඳ ගෞරවයක් ,පිළිගැනීමක් තුළින් ඇතිවන අන්තර් සංස්කෘතික සංහිදියාව මෙනමින් අදහස් කෙරේ.
 


       සංස්කෘතික මිනිසා               - උසස් සංස්කෘතික ලක්ෂණ සහිත මිනිසා මෙයට අයත්ය.

වැනි සංකල්ප සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන් වැඩි අවධානයකට ලක්ව තිබේ. ඉහත විග්‍රහයට ලක් කළ සංස්කෘතිය හා බැඳුණු සංකල්ප සමූහය සන්නිවෙිදන ක්‍රියාදාමයේ දි අතිශයෙන් වැදගත් බව පැහැදිලිය.




මාධ්‍ය හා සංස්කෘතිය අතර සම්බන්ධතාව

                       ලේඛන කලාව පිළිබඳ ව ඉතා දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇතත් මුද්‍රණ ශිල්පය පිළිබඳ ශ්‍රී ලංකා ඉතිහාසය ඇරඹෙන්නේ ලන්දේසි යටත් විජිත යුගයේදීය. ක්‍රිස්තු වර්ෂ 1656 දී පෘතුගීසීන් පලවා හැර ශ්‍රී ලංකාවෙි මුහුදුබඩ ප්‍රදේශය අල්ලා ගත්තේ ලන්දේසි ජාතිකයන්ය. ඔවුන්ගේ එක් අරමුණක් වූයේ ඔවුන්ගේ ආගම වූ ක්‍රිස්තු ධර්මය ප්‍රචලිත කිරීමය. පළමු වරට සිංහල අච්චු අකුරු නිපදවීම ගැන වාර්තා වන්නේ 1734 පමණ කාලයේදීය. සිංහල මුද්‍රණාලයක් පිහටුවන මෙන් පිලාත් ආණ්ඩුකාරවරයා විසින් ගේබි්‍රයල් වෙත කරන ලද දැන්වීමකට අනුව ඔහු විසින් 1737 දී ප්‍රථම වරට මුද්‍රණාලය කොළඹ දී පිහිටුවන ලදි. මුලින්ම මෙහි මුද්‍රණය කරන ලද්දේ ලන්දේසි ආණ්ඩුවේ නීති හා රෙගුලාසිය.
                මුද්‍රණ තාක්ෂණය පැමිණීමත් සමඟ ජන ජීවිතවල යමි වෙනසක් දැක ගත හැකි විය. ඉන් පසුව ගුවන්විදුලිය , සිනමාව ,රූපවාහිනිය සහ අන්තර්ජාලය දක්වා වර්ධනය විය. ඒත් සමඟම සංස්කෘතියේද යම් යම්ි වෙනස්කම්වලට බදුන්විය. එලෙස මාධ්‍යයන්ගේ ආගමනයක් සිදු නොවුනානමි අද වනවිට ගොඩ නැගෙන්නේ වෙනම සංස්කෘතියකි. ඒ අනුව ජන මාධ්‍ය හා සංස්කෘතිය අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක් ද යන්න පැහැදිලි වේ .
■    බහුජන සංස්කෘතිය
■    ජනප්‍රිය සංස්කෘතිය
■    සංස්කෘතික නිෂ්පාදන
■    සංස්කෘතික ප්‍රාග්ධනය
■     සංස්කෘතික අධිරාජ්‍යයවාදය
■    ගෝලීය සංස්කෘතිය
ඇතුළු  ප්‍රවනතා මතු වන්නේ ජන මාධ්‍යය බලපෑමෙනි. සංස්කෘතීන්ට තනිව සිටීමට අවස්ථාවක් නොලැබෙන්නේ එකී ජන මාධ්‍යයේ බලපෑම නිසාය. ජන මාධ්‍ය තුළින් සියල්ල සමෝධානය කරවයි.
 

නිදසුනක් ලෙස ගතහොත්
සමාජය තුළ විවිධාකාර  වූ උප සංස්කෘතීන් පවතියි. ජන මාධ්‍ය විසින් එකී සියලු  සංස්කෘතීන් එකම සංස්කෘතියක් බවට පත් කරයි. උප සංස්කෘතිය තුළ දැකිය හැකි යම් යම් දේ පොදු සංස්කෘතියේ අංග බවට පත් කරයි. රූපවාහිනිය බිහි වීමත් සමඟ එතෙක් සිංහලකරණයට පමණක් සීමා වී තිබූ සංස්කෘතික ක්‍රියාවලිය ශ්‍රී ලාංකිය  සංස්කෘතියක් බවට පුළුල් වීමේ ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. සියලු කලාංගයන්ට ඉහළ ප්‍රාසාංගික අගයක් නිර්මාණය කර දෙනු ලැබීය.

ජන මාධ්‍යයේ බලපෑම  නිසා ජනප්‍රිය සංස්කෘතිය බිහි විය. 


  ජනප්‍රිය සංස්කෘතිය යනු;  ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පවසන්නේ
 

‘ජනයා අතර ප්‍රියවූ’ යන අරුත ලබා දෙන බවයි.
 

ජන මාධ්‍ය වටා පෙළ ගැසී සිටින ව්‍යාපාරික ප්‍රජාව විසින් තම ව්‍යාපාරික අරමුණු මුදුන් පත් කිරීම සඳහා ග්‍රාහකයන්ට සිදු කරන බලපෑම් කරණ කොටගෙන මතු වන සංස්කෘතික ප්‍රවනතාව මෙනමින් හැඳින්විය හැකිය.

  සංස්කෘතික නිෂ්පාදන යනු;
ජන මාධ්‍ය තුළින් නිර්මාණය වන සංස්කෘතියේ ව්‍යාප්තිය සමඟ බිහිවෙන වෙළඳ දැන්වීම්, රූපවාහිනි නාට්‍ය, සිනමාව , නාට්‍ය ,සංගීත සංයුක්ත තැටි ආදි වූ සියල්ලය.





  සංස්කෘතික ප්‍රාග්ධනය  යනු ;
ඒ සියල්ලෙහි එකතුව නැතහොත් මානව හා භෞතික සම්පත්හි ඓක්‍යය ලෙස හැඳින්විය හැකිය.
 

   සංස්කෘතික අධිරාජ්‍යවාදය යනු;
සංස්කෘතික නිෂ්පාදන හා ජන මාධ්‍ය ඔස්සේ බලවත් රටවල් සෙසු රාජ්‍යයන්ට කරන සංස්කෘතික බලපෑම අතිවිශාලය. ඇමරිකාව ඇතුළු බලවත් ජාතීන් කිහිපදෙනෙකු විසින් සෙසු ජාතීන්ට තම සංස්කෘතික නිෂ්පාදන බලයෙන් පවා ඇත. හොලිවුඞ් හා බොලිවුඞ් චිත්‍රපට මීට නිදසුන්ය.


   ගෝලීය සංස්කෘතිය යනු ;
බහුජන සමාගම්වල න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවන ගෝලීයකරණ ක්‍රියාවලියේ එක් මුහුණුවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙි පිළිබඳව ආචාර්ය ටියුඩර් වීරසිංහයන් මෙසේ අදහස් දක්වා තිබෙි.
 

“ ගෝලීයකරණය යටතේ ලොව පුරා ව්‍යාප්ත වන ලෝක සංස්කෘතිය යනු අන් කිසිවක් නොව එය ලෝකයේ ජීවත් වන විවිධ ජාතීන්ගේ සංස්කෘතීන් ඇමරිකානුකරණය හා බටහිරකරණය කිරීමයි. එහි අරුත වන්නේ ලෝකයේ වෙනස් ජාතීන්ට ඇමරිකානු හා බටහිර සංස්කෘතිය බලයෙන් පැටවීමයි. එසේම ලෝක සංස්කෘතික අධිරාජ්‍යවාදය ,තොරතුරු අධිරාජ්‍යවාදය ආදිය පෙරදිග උපත ලද ඒවා නොවන අතර ඒවා සිය ගෝලීයකරණ මතවාදයේ ඓතිහාසික පරිණාමයේ දී බටහිර ශිෂ්ටාචාර තුළින්ම උපත ලද ඒවාය.”
                                 ඉහත සඳහන් කළ කරුණුවලට අනුව රටෙි සංස්කෘතිය ගොඩනැගීමටත් එය විකාශනයටත් මාධ්‍ය මඟින් සිදු කෙරන බලපෑම අතිවිශාල බව වටහා ගත හැකිය.




No comments:

Post a Comment