Wednesday, January 11, 2017

රට කරවන්ටනම්!







වචනයට යා හැකි දුර නතර වන්නේ කොතැනද එනැන සංගීතයේ උපත සිදුවන  බව ඬේවිඞ් රැන්ඩොල්ෆ්ගේ අදහසයි. සමාජය ගලා යන දිශාව පිළිබඳ කෙනෙකුට ප්‍රශ්නයක් නැගුනහොත් එයට අදහසක් හෝ විරෝධයක් පලකළ හැකිය. ඒ සඳහා කථිකයකු තම දේශන වාග් විලාශයද, නාට්‍ය කරුවෙකු වේදිකාව මත සතර අභිනයද, කෙටිකතා  කරුවෙකු සිය පිටපත සම`ඟ දිවෙන චරිත කිහිපයක්ද තෝරා ගන්නා අතර එකී ස්වභාවය සමාජගත කිරීම සඳහා ගේය පද රචකයා ඇසට හසු කරගන්නේ තවත් අපූරු දෘෂ්ඨි කෝණයකි. එක් එක් සමාජ යුගයන්හි විවිධ කලා නිර්මාණ කරුවන් බිහිවූ අතර, අපූරු ගේය පද රචනයට තම හඬ මාධුර්ය මුසු කල ගීත කෝකිලාවක් 1960 දශකයේ මුල් භාගයේදී පමණ කලා කෙත අස්වද්දන්නට දායක වූවාය. ඇය නම්  “ජාතියේ යශෝරාවය ” නමින් විරුධාවලියෙන් පිදුම් ලැබූ විශාරද නන්දා මාලනියයි. මාහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පද රචනයට විශාරද නන්දා මාලිනියන්ගේ හඬ මාධුර්යය  මුසුවූ විට එකී ගායනයට රසික හද සංගීතයෙන් කුල්මත් කරන්නට මෙන්ම නවමු සමාජ කියවීමක්  කරන්නටද අවස්ථාව උදා වුණි.

ශ්‍රවණ ආරාධනා ගී ප්‍රසංගය, පහන් කන්ද කැසට් පටය, යාත්‍රා කැසට් පටය, හේමන්තයේදී කැසට් පටය මෙන්ම සත්‍යයේ ගීතය ගී ප්‍රසංගයට සිය දායකත්වය දැක්වූ  නන්දා මාලනිය ඉන් පසු සමාජයේ පැවැති නොයෙකුත් මර්දනයන් හමුවේ නොපැකිලිව තම හඬ මුසු කරමින් 1987 -1990 බියකරු ධවල භීෂණ සමයේදී පවන ගී ප්‍රසංගයටද සිය දායකත්වය සැපයීය. මේ සඳහා පදනම සකස් කරන සුනිල් ආරියරත්නයන් 87- 90 කාල වකවානුව තුළ පැවැති අධික භීෂණයට මුහුණ දෙමින් තම ගීත රචනය ඉදිරියට ගෙනයන ලදී.  පවන  කැසට් පටයේ ගීත හරහා ගායිකාව මුදා හරින්නේ එකී සත්‍යයේ සැබෑ ප්‍රතිරූපයයි. පවතින සමාජයට විරෝධය පාමින් ආාකල්පයක් ගෙන එන්නට සුනිල් ආරියරත්නයන් සමත් විය. එකී විරෝධාකල්පය විටෙක සෘජුවත්, විටෙක උපහාසාත්මකවත්, තවත් විටෙක ව්‍යංගාර්ථයෙන්ද පද බඳිනු ලැබූ අතර, විටෙක එයට අරගල බිමේ සැබෑව නොබියව සිය පද වැලෙහි ගෙත්තම් කරන්නට විය.

“පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය” ද “ජේසු ස්වාමි දරුවෝ ක්ෂේම විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ” ආදී මාලනිය ඇයට හුරු විරෝධාකල්ප ගීයේ සෘජු ප්‍රකාශන රීතියද සුපුරුදු පරිදි ගීතයට මුසු කලාය. ගීතයේ සෘජු ස්වභාවෝක්තිය ගැන සිතමින්ද,  ගීතයේ සමාජ මෙහෙවර හා අනුගතව යමින්ද සිය මධුර හඬ මුසු කල ඇය හෙට දවස යහපත් දේශයක් දකින්නට ගීතයෙන් සිය රසික සත්ජන මනස පුබුදු කළාය.

පවන කැසට් පටයේ ගීත විවිධ තේමාවන් ගත් අතර “රට කරවන්ටනම්...” ගීතය එකල සමාජ ක්‍රමයේ තවත් පැතිකඩක් පූර්ණය කල ගීතයක් ලෙස විචාරයට බඳුන් කල හැකිය. රට කරවන්ටනම් ගීතයෙහි පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අතින් ගෙත්තම් වන විට රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට නන්දා මාලනියන්ගේ හඬ මාධුර්ය එක්විය. මෙකී ත්‍රී පුද්ගල සුසංයෝගයෙන් ගෙන එන මෙම ගීතය එකල සමාජ පසුබිම මනාව ඉදිරිපත් කළේය. පද රචකයා තම සිතැඟියාවන් කාටත් වැටහෙන පදිරි  උත්ප්‍රාසයෙන් ගොනු කර තිබෙයි. එම ගීතය රස විඳින ඕනෑම කෙනෙකුට එකල සමාජය තුළ පැවැති අසහනකාරී තත්ත්වය පිළිබඳව සරල අවබෝධයක් ලබාගත හැකිය. එකී අවබෝධය තවත් තිව්‍රර කීරීමට රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මනා පිටු බලයක් සපයයි.

78 ආණ්ඩුව පිහිටුවීමට ප්‍රථම පැවැති ආවෘත ආර්ථිකයෙන් බැට කෑ ජනතාව ජේ.ආර් ගේ විවෘත ආර්ථීක සංකල්පය වැලඳ ගන්නේ දිව ඔසුවක් මෙනි. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය අතටගත් පසු රට ආර්ථික, සමාජ හා සංස්කෘතිකමය වශයෙන් පරිහානියට පත්වූ අතර එකී පරිහානිය මෙම ගීතය තුළින් විදහා දැක්වීමට රචකයා උත්සාහ කොට ඇත. ජේ.ආර් විවෘත ආර්ථික සංකල්පය හඳුන්වා දීමට පෙර ලාංකේය සමාජයේ තිබුණේ දේශියත්වයට වැඩි අවධානයක් යොමුවූ සමාජ වටපිටාවකි. එම ක්‍රමය වෙනස් කරමින් ජේ.ආර් බලයට  පත් වනම විවෘත ආර්ථිකය හඳුන්වා දී විදේශිකයන්ට ලංකේය සමාජය වෙළඳ පොළක් බවට පත් කළේය. එමෙන්ම ස්වදේශිකටයන්ටද හිතුමතේ තම ආර්ථික ක්‍රියාවන් කිරීමට ඉඩ හසර වෙන් කරන  ලදී. සරලවම කිවහොත් ආර්ථිකය පාලනය කිරීම පුද්ගලික අංශය සතු කරන ලදී. එය රට විනාශාභිමුඛයට ඇද දැමීමේ මුල් පියවරක් බඳු විය. රට සංවර්ධනය කිරීමට, ස්වයං පෝෂිත කිරීමට නම් අවශ්‍ය වන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය බව රජය විසින් ජනතාවට ඒත්තු ගන්වන්නට විය.

“රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ...

         වටිනා කියන දේ විකිණිය යුතුය රටේ...”

රටේ පවතින වටිනාකම්, විදේශීය බලපෑම් හමුවේ දණ නමන්නට විය. සෑම භාණ්ඩයක් හා සේවාවක්ම විදේශීය වෙළඳපොල තුළ සැරිසරන්නටත් විදේශීය භාණ්ඩ හා සේවාවන් ස්වදේශීක වෙළෙඳපොළ තුළ තරඟකාරීව හැසිරෙන්නටත් පටන් ගැනුණි. එයින් රජය අපේක්ෂා කලේ රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය වටිනාකම ලඟාකර ගැනීමට බව රජයේ ආර්ථික ප්‍රතිපත්ති දෙස බැලීමේදී පැහැදිලි විය. රජයේ ප්‍රතිපත්තිය වූ  රට සංවර්ධනය කිරීමට මුදල් අවශ්‍ය බව ගීත රචකයා සිය ගීතයේ  “රට කරවන්ටනම් මසුරනන් ඇතිව කැටේ” යන පද වැලෙන් පිළිබිඹු කරයි.  රජයේ මෙම ප්‍රතිපත්තිය උත්ප්‍රාසයෙන් දකින රචකයා ඒ සඳහා රටේ වටිනා කියන දේවල් විකිණිය යුතු බව  සිය දෙවන ගීත පෙළෙන් පාඨකයාට ගෙන එයි.

“....අමන දනන් කෑ ගැහුවත් හතර වටේ ...
  ඒවා නොවික්කොත් අප හැම මකර කටේ ”

ලාංකේය  සභ්‍යත්වයට ගරු බුහුමන් කළ අපේ මුතුන් මිත්තන් දේශියත්වයට නිතැතින්ම ආදරය කළහ. තමන්ගේ යැයි සම්මතවී තමන්ගේ කරගත් දෙයක් අනුන් සන්තක වනවාට කිසිවෙකුත් කැමති වන්නේ නොවේ. දේශියත්වය කරපින්නාගත් ලාංකිකයන් අපේ උරුමය පිටරැටියන්ට විකිණීමට සූදානම් වන්නේ නොවේ. කොපමණ ඉල්ලීම් කලද රාජ්‍ය පාලනය හිස නමන්නේද නැත. “අමන දනන් ” ලෙස ලාංකිකයා දෙස අවඥාවෙන් පද රචකයා  බලන්නේ  උත්ප්‍රාස රසය  දනවමිනි. ජනතාව මෝඩ ,අඥාන පිරිසක් ලෙස සඳහන් කරන්නේ රාජ්‍ය පාලනයේ යථාර්ථය ගීතය තුළින් අවබෝධ කරවමිනි. මෙලෙස පද වැල පුරාවටම රචකයා තම විරෝධාකල්පය සමාජගත කිරීමට උත්සහ කර ඇති බව ගීතය දෙස හොඳින් සවන් යොමු කිරීමේදී  පැහැදිලි වෙයි.

රෝහණ වීරසිංහයන් උත්ප්‍රාස රසය වඩාත්  දැනවීම පිණිස තම නාද මාලාව ඒ හා මුසු කල බව එම සංගීත ඛණ්ඩයෙන් මනාව පැහැදිලිය. ලංකාව සුවිශේෂී වන්නේම අන් රටවලට නොදෙවෙනි උරුමයන්ගෙන් හා ස්වභාව සෞන්දර්යයෙන් අනූන හෙයිනි. ආර්ථිකය විවෘත වූ පසු ලංකාවේ ස්වභාව සෞන්දර්ය විඳ ගැනීමට විදේශිකයින් වැල නොකැඩී ආහ. සංචාරක කර්මාන්තයේ දොරගුළු විවෘත වීමත් සමග සමාජයේ පැවැති සංස්කෘතියට, සභ්‍යත්වයට කුමක් සිදු වන්නට ඇත්දැයි ප්‍රශ්නකාරී වේ. එකී පැනය පදවැල් කිහිපයකට ගෙනු කරන්නට ආරියරත්නයන් ගත් උත්සාහය සාර්ථකවී ඇති බව පෙනේ. 

ලංකාවේ ජන ගහනයෙන් 74% බෞද්ධයන්ය. බුදුන්ගේ පහසින් තෙවරක් ස්පර්ශ වූ ලංකා බිම බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී යන්නට විය. මහින්දාගමනයත් සමඟ ලංකා සමාජයට ලැබුණු සංස්කෘතිය ඔවුන්ගේ හදවත් පෝෂණය කළහ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධාතූන් වහන්සේලා රටවල් කිහිපයක තැන්පත් කරන්නට වූ අතර  එම භාග්‍ය අප රටද උදාකර ගැනීමට හැකි විය. ආගම හා බැඳුණු සංස්කෘතික රටාවන් ගොඩ නැගුණේ දළදා මැදුර වටාය. දළදා වහන්සේට  පුද සත්කාර කරන්නට බෞද්ධයා අමතක නොකළාහ. 1978 න් පසුව ලංකේය උරුම පිටරැටින්ට පවා බුක්ති විඳීමට අවස්ථාව උදා විය. දළදා මැදුර, සිරි මහ බෝධිය, සීගිරිය, සිංහරාජය ආදිය ගෙන හැර පාමින් රචකයා  උත්සාහ කරන්නේ අපේ උරුමය, කලාව, ආගම, අපේකම යන සංස්කෲතික සංඝටකයන්ගේ අගය විදහා දැක්වීමටයි.  රචකයාට අවශ්‍ය වී තිබුණේ එසේ වියැකී යමින් පැවැති අපේ උරුමය රැකගන්නට ජනතාව පෙළඹවීමයි. රජයට ඒ බව මතක් කර දීමයි. “දළදා මැදුර අධිකව මිල කල හැකි” බව රචකයා පවසයි. උතුම්වූ දන්ත ධාතූන් වහන්සේට වන්දනා කරන බැතිමතුන්ගෙන් ගහන සමාජයක මෙවන්නක් පැවසීම අතිශය උපහාසාත්මකය. දළදා මැදුරට, ශ්‍රී මහා බෝධියට ලන්සු තබා විකුණුම් මිලක් තීරණය කල  හැකි වේද? නමුත් එය කල යුත්තක් බව රචකයා අවධාරණය කරයි. අපේ ආගම රට තුළ ක්‍රමයෙන් විනාශයට පත්වන බව පවසන්නේ රාජ්‍ය පාලනයේ අඩුපාඩු ව්‍යංගයෙන් ඒත්තු ගන්වමිනි. කාශ්‍යප රජු විසින් ආරක්ෂාව පිණිස තනන ලද බල කොටුව  වර්තමානයේ ලොව මවිතයට පත්කරන උරුමයන් අතර  වැජඹීම ලාංකිකයන් වශයෙන් සතුටට පත්වන කරුණකි.

“කලු ගල්වලට විකුණාගෙන සීගිරිය...
         සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය...”

සීගිරිය කලුගල් වලට විකුණා දැමිය යුතු බව  ගීතය තුළින් අවධාරණය කරයි. ස්වදේශිකයන්ට සිදු වී ඇත්තේ සියල්ල විදේශයන්ගෙන් ආනයනය කිරීමටය. ඒ සදහා අධික ආර්ථික පිරිවැයක් දැරීමට සිදු වේ. එය දරා ගත නොහැකි තැන රටේ භෞතික සම්පත් මිල කිරීමට සිදුවෙයි. එහෙයින් අවසානයේ අපේ උරුමයට, අපේ කලාවට පවා මිලක් නියම කර පිටරැටියන්ට  විකුණන කල ලාංකිකයන් ස්වයංපෝෂිත වන බව ව්‍යංගයෙන් පවසයි. සියල්ල පිටරට ගෙනයන කල ලංකාවේ කිසිදු උරුමයක් ඉතිරි වේවිදැයි රචකයා පවසයි.

දේශීය කුරුඳු, තේ, රබර් ආදිය පවා ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටද සෑහෙන පරිදි වගා කල යුතුය. ඒවා අලෙවිකල යුතුය. මෙලෙස දේශීය දේ අලෙවි කරන කල ලංකාවට කුමක් සිදු වේවිදැයි සිතාගත නොහැක. මෙම ගීතය තුළ ව්‍යංගාර්ථවත් බසින් රසිකයාට ගෙන එන්නේ එම සමාජ අඬහැරයයි. සීගිරි කුරුටු ගීත පිළිබඳව  එදා පමණක් නොව අද සමාජයේ පවා කතා බහට ලක් වේ. පද රචනය තුළින් ගෙන එන්නේ විවෘත ආර්ථිකයත් සමග ලාංකිකයන්ට අත්විඳින්නට සිදු වූ සමාජ  පසුබිමයි.

සිංහරාජය, දුන්හිඳ ඇල්ල, සමනල කන්ද, ශ්‍රි පාදය කෘතීමව ගොඩනගන ලද ඒවා නොවේ. සොබාදහම් දිනිතියගෙන් අපට ලැබුණු දායාදයන්ය. ජනතාව පීඩාවට පත් කරමින් මෙලෙස ධනය සූරා කෑමට ලක් කරන විට ලංකාවට අත්වන ඉරණම අභාග්‍ය සම්පන්නය. සමාජයේ  පවතින තත්ත්වය මහාචාර්ය ආරියරත්නයන් සිය සංකල්පනාව සමග එක්කරමින් විරෝධයක් ගොඩ නැගීමට  උත්සහ කරයි.

1987 - 1990 භීෂණ සමයත් සමග බිලිගත් ජන ජීවිත සංඛ්‍යාව ගණනින් සහතික නොකල ද එමෙන්ම ලංකා සමාජයට අත්වූ ඉරණම සහතික කල නොහැක. ස්වභාව සෞන්දර්යයෙන් අනූන සිංහරාජය වැනි රක්ෂිතයක් ලී මෝලකට විකුණා දැමිය යුතු බව ගීතයේ සඳහන් වේ. නමුත් රචකයාගේ සැබෑ අභිප්‍රාය වන්නේ සිහරාජය වී මෝලකට විකිණිම නොවේ. රාජ්‍ය පාලනයට සමාජයේ පවතින විරෝධය උපහාසයෙන් කීමටය. 

“හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට...
 පවරා සිංහරාජය ලී මෝලකට...”

වෘක්ෂ ලතාවන් විනාශ කර එයින් ලී මෝලක් ඉදිකිරීම, හොර්ටන් තැන්නේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීම වැනි ක්‍රියාවන් ලංකාව වැනි රටකට උචිත දැයි හැඟේ. මෙවැනි සංකේතාත්මක පදවැල් තුළින්  රචකයා උත්සාහ ගන්නේ එවක සමාජයේ සංස්කෘතික උරුමයන්ට ස්වභාවික සම්පත්වලට රාජ්‍ය මගින් උරුම කර දුන්  ඉරණමයි.

ලාංකාවේ පවතින සෑම ස්වභාවික වටිනාකමක්ම ආර්ථික ක්‍රියාවලියකට නතු කල යුතු යයි පවසන රචකයා සොබාදහම් මාතාව අපට උරුමකල අපූරු උරුමයක් වන දුන්හිඳ ඇල්ලෙන්ද ආර්ථික උත්පාදනයක් කලයුතු බවට ගෙනහැර පාන්නේ විවෘත ආර්ථිකය තුලින් රටට අත්කර  දුන් නස්පැත්තිය සමාජයට විවර කරමිනි. රටේ පවතින සියලූම දේ ආර්ථිකය හා බද්ධ කිරීමට රජය ගත් උත්සාහය කතුවරයා සමච්චලයට ලක් කරයි. 
එක්සත් ජාතික පක්ෂ දැඩි අර්බුදකාරි ආර්ථික ප්‍රත්පත්ති හමුවේ පීඩාවට පත් වූ ජනතාව සිය බඩ කට පුරවා ගන්නේ කෙසේද? යන්න ගැටළුවකි. එයට පිළිතුර රජය මඟින් විවෘත ආර්ථික ප්‍රත්පත්තිය හමුවේ ලබා දුන්නාද, නොඑසේ නම් එයින් ජනතාව තව තවත් අසරණ  වූවාදැයි විමසිය යුතුය. රට විදේශ විනිමය මත වැජඹෙන කළ ඔවුන්ට දේශීයත්වය පිළිබඳ අමතක විය. සමනල කන්ද බුදුන්ගේ පාද ස්පර්ශයෙන් පහස ලැබීමත් සමඟ බෞද්ධයන් පමණක් නොව අන්‍ය ආගමිකයන් පවා ඒ වටා එක් විය. ඒ නිසාම දේශීය, විදේශිය ඕනෑම කෙනෙකුගේ පහස වෙනුවෙන් හෝටලයකට බදු දෙමුයි යෝජනා  කරයි.
       
   “සමනල කන්ද බදු දෙමු හෝටලයකට...”

සියල්ල බදු බර හමුවේ හිස නමන කළ රචකයාට අනුව සමනල  කන්ද පවා බදු දීම යෝග්‍ය යැයි සිතීම වරදක් නොවෙයි. මන්ද ලංකාවේ වටිනා සම්පත් බෙහෝමයක් බදු දී අවසන්ය.

රාජ්‍යය  පාලනයේ අසහනකාරි ප්‍රතිපත්ති හමුවේ ජනතාව දැඩි අසරණභාවයට පත් විය. රාජ්‍ය පාලනයේ පැවති එවන් දුර්වලතාවයන් තියුණු උපහාස රීතියෙන් බලමින් රචකයා සංගීතය ඔස්සේ සමාජ අරගලයක් කිරීමට ගත් උත්සාහය මෙම ගීතය තුළින් පූර්ණය කර ඇති බැව් විචාරයට බඳුන් කළ හැකිය.

       

3 comments: